පාකිස්තානයේ පාසල් ගොඩනැගිල්ලක වහලයක් කඩා වැටී මියගිය සිසුන් ගණන 27ක් දක්වා ඉහළට

පාකිස්තානයේ වයඹදිග පෙෂාවර් නගරයේ පාසලක වහලයක් කඩා වැටීමෙන් මියගිය සිසුන් ගණන 27 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම ගුරුවරයෙකු ද මියගොස් ඇති අතර, සමස්ත මියගිය ගණන 28 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද (15) පාසල් කාලය අතරතුර මෙම අනතුර සිදුව ඇති බවයි.

මියගිය සිසුන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 13ට අඩු සිසුන් බව සඳහන්.

පෞද්ගලිකව පවත්වාගෙන යනු ලබන පාසලක මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට සහ සුන්බුන් අතර සිරවී සිටින සිසුන් මුදා ගැනීමට සහන කණ්ඩායම් කටයුතු කර තිබෙනවා.

දිස්ත්‍රික් හදිසි ආපදා නිලධාරී ඉෆ්තිකාර් ඛාන් සඳහන් කර ඇත්තේ, සුන්බුන් අතරින් අවම වශයෙන් සිසුන් 45 දෙනෙකු මුදාගෙන ඇති බවයි.

තවත් සිසුන් පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවට තොරතුරු ලැබී ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඉහළ මහලක වහලය කඩා වැටීමත් සමග පහළ මහල් දෙකද කඩා වැටී සිසුන් මතට සුන්බුන් ඇද වැටී ඇති බව සහන සේවා නිලධාරියෙකු ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ගොඩනැගිල්ලේ ව්‍යුහය දුර්වල මට්ටමක පැවති බවත්, එම ව්‍යුහයට දරාගත නොහැකි බරක් වහලය මත පැවතීම කඩා වැටීමට හේතු වන්නට ඇති බවත්, පෙෂාවර් පොලිස් ප්‍රධානී මියන් සයීඩ් සඳහන් කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ පන්ති කාමර තුනක සිසුන් 110 දෙනෙකු සිට ඇති අතර, ඉන් 47 දෙනෙකු පමණක් මුදාගෙන තිබීම හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

අනතුරට හේතුව සොයා බැලීම සඳහා විමර්ශනයක් ආරම්භ කිරීමටද බලධාරීන් නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.