2027 අයවැය මගින් ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව නොසලකා හැරීමට විරෝධය පළ කරමින් ලබන 30 වනදා එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය පවසනවා.
මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති නමුත් මෙතෙක් පිළිගත හැකි විසඳුමක් ලැබී නොමැති බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ.
ඒ අනුව, නොවැම්බර් 30 වැනිදා අසනීප නිවාඩු වාර්තා කරමින් එක්දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී තවදුරටත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද ඒ මහතා අවධාරණය කළේය.
එහිදී අදහස් දැක්වූ ජෝසප් ස්ටාලින් මහතා,
”2027 අයවැයෙන් ගුරු සහ විදුහල්පතිවරු අධ්‍යාපන ක්ෂේත්රය නොසලකා හැරීම සම්බන්ධයෙන් අපේ දැඩි විරෝධයක් තියෙනවා. දැන් අපි අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධයෙන් කතා කළා. දැන් එළඹෙන පළවෙනිදා තමයි විශේෂයෙන්ම අධ්‍යාපන විවාදය තියෙන්නේ. ඉතින් මේ අධ්‍යාපන විවාදය තුළවත් මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුයි. එතකොට ගුරුවරු, විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, පිරිවෙන් ගුරුවරු මේ සියලු දෙනා සම්බන්ධයෙන් ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙළක් නැහැ. මේ තත්ත්වය තුළ ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය හැටියට අපි තීරණය කරලා තියෙනවා එළඹෙන නොවැම්බර් 30 වැනිදා එක්දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගයකට යන්න. මේ සඳහා මේ රටේ 250,000කට ආසන්න ගුරුවරු ඒ වගේම පාසල් 10,110ක ගුරු විදුහල්පතිවරු සියලු දෙනා සම්බන්ධ වෙනවා කියන කාරණාව පැහැදිලිවම කියන්න ඕනේ. ඒක නිසා අධ්‍යාපන ක්ෂේත්රයේ මේ වෙනකොට මුහුණ දීලා තියෙන ගැටලු වලට විසඳුම් ලබා නොදෙනවා නම් අපිට ක්‍රියාමාර්ග ගන්නවා හැර වෙන විකල්පයක් නැහැ.”

