ඇසළ මහා පෙරහැර සමයේ මහනුවර මත්පැන් බලපත්‍රලත් ස්ථාන වසා තැබීමට පියවර

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ 2026 වර්ෂයේ ඇසළ මහා පෙරහැර නිමිත්තනේ අගෝස්තු 18 සිට 28 දක්වා මහනුවර කඩවත් සතර හා ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශය තුළ පිහිටි සියලුම මත්පැන් බලපත්‍රලත් ස්ථාන වසා තැබීමට පිවයර ගෙන ඇති බව ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව , කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නත්තරන්පොත ග්‍රාම නිලධාරී වසමට අයත් ප්‍රධාන මාර්ගයේ ඉන්ධන පිරවුම්හල දක්වා පිහිටි සියලුම මත්පැන් බලපත්‍රලත් ස්ථාන ද වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය ලබා දී ඇත.

පෙරහැර සමයේ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවත් ජනතාවක් මහනුවර නගරයට හා ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයට පැමිණීම අපේක්ෂා කෙරෙන බැවින් මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පෙරහැර පැවැත්වෙන ප්‍රදේශය ආවරණය වන පරිදි සුරාබදු නිලධාරී කණ්ඩායම් යෙදවීමට ද කටයුතු කර තිබේ.

පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ එම ප්‍රදේශය මතින් තොර කලාපයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස අදාළ සුරාබදු නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

මේ අතර, අදාළ දිනවලදී මත්පැන් බලපත්‍රලත් ස්ථාන වසා නොතැබීම හෝ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් 1913 කෙටි දුරකථන අංකය හෝ oicoptroom@excise.gov.lk විද්‍යුත් තැපෑල ඔස්සේ දැනුම් දෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරන ඕනෑම බලපත්‍රලත් ස්ථානයකට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස අදාළ සුරාබදු නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් දන්වා සිටීන බව එම නිවේදයේ වැඩි දුරටත් සඳහන් වේ.