42 වැනි ජාතික මීලාදුන් නබි උත්සවය මීගමුව පෙරියමුල්ල අල්-හිලාල් විද්‍යාලයේදී

42 වැනි ජාතික මීලාදුන් නබි උත්සවය මෙවර මීගමුව පෙරියමුල්ල අල්-හිලාල් විද්‍යාලයේදී අගෝස්තු මස 26 වැනි දින පස්වරු 3.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
ආගමික වටිනාකම් සුරැකීමටත් , සහජීවනය ශක්තිමත් කිරීමේ අරමුණෙ න් සහජීවනය , සහෝදරත්වය , එකමුතුකම යන තේමාවෙන් පැවැත්වෙන මෙම උත්සවයට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රීයාත්මක කෙරෙන බව ද ඒ මහතා සදහන් කළේය.

ඒ අනුව 22 වැනි දින මීගමුව අල් ෆලා විද්‍යලයේදී ලේ දන්දීමේ කඳවුරක් පැවැත්වෙන අතර 23 වැනි දින පැළ සිටුවීමේ වැඩසටහනක් පැවැත්වෙන බවත් 24 වැනි දින Visit My Mosque තේමාවෙන් මුස්ලිම් පල්ලිය ආශ්‍රිත සංස්කෘතික පරිසරය හඳුනා ගැනීමට විශේෂ වැඩසටහනක් ද , නබිතුමාගේ ජීවන දර්ශනය ඇසුරෙන් 24,25 දෙදින අල් හිලාල් විද්‍යලයේදී ප්‍රදර්ශනයක්ද පැවැත්වෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම වැඩසටහන්වල‌ට අමතරව ගම්පහ දිස්ත්‍රික්කේ පිහිටි මුස්ලිම් පල්ලි 12ක යටිතල පහසුකම් සංවර්ධනය‌ සඳහා ප්‍රධාන මුස්ලිම් පල්ලි 8කට රුපියල් මිලියනය බැගින් සහ මුස්ලිම් පල්ලි 4ක් සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් ලබා දීමට කටයුතු කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ඒසේම ගමපහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාවගේ සංස්කෘතික හා ‌‌ඓතිහාසික වැදගත්කම තේමා කර ගනිමින් ග්‍රන්ථයක් එළි දැක්වෙන අතර එම දිස්ත්‍රික්කයේ ‌ඓතිහාසික මුස්ලිම් පල්ලියක් සංකේතවත් කරමින් සමරු මුද්දරයක් නිකුත් කිරීමට ද නියමිත වේ.