ඊශ්‍රායලය ඉරානයේ ප්‍රධාන නගර රැසක හමුදා ඉලක්ක වලට පහරදෙයි

ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ඉරානයේ ප්‍රධාන නගර රැසක ඇති හමුදා මධ්‍යස්ථාන වෙත අද දිනයේ ද පුළුල් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාර වලින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි ඉරාන පාලන තන්ත්‍රයේ යටිතල පහසුකම් සහ මෙහ්රාබාද් ගුවන් තොටුපළේ (Mehrabad Airport) තිබූ ඉහළ පෙළේ නායකයින් භාවිතා කරන ගුවන් යානයක් විනාශ කර ඇති බව ඊශ්‍රායලය පවසනවා.

එසේම ෂිරාස් සහ තැබ්රිස් යන නගරවල පිහිටි හමුදා මධ්‍යස්ථාන සහ යටිතල පහසුකම් වෙත දැඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා.

විශේෂයෙන් තැබ්රිස් නගරයේ ආණ්ඩුකාර කාර්යාලය සහ බුද්ධි අංශ අමාත්‍යාංශය අවට ප්‍රහාර වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වල දැක්වෙන්නේ.

ඉරාන පාලන තන්ත්‍රයේ මිලිටරි ශක්තිය අඩපණ කිරීම සහ ඔවුන්ගේ මිසයිල නිෂ්පාදන ධාරිතාව විනාශ කිරීම මෙම ප්‍රහාරවල අරමුණ බව ඊශ්‍රායලය සඳහන් කරනවා.

මේ වන විට මැද පෙරදිග කලාපයේ ගැටුම් ආරම්භ වී දින 17ක් ගත වී තිබෙනවා.