ඉදිරි මාස 03 තුල ලයිසන් ලක්ෂ 03ක් නිකුත් කිරීමේ සැලසුමක්

මේ වනවිට ලක්ෂ 3කට අධික රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීමට පවතින බවත් එම ප්‍රමාණය ඉදිරි මාස 3 තුළ මුද්‍රණය කර නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යාංශ නිලධාරීන් පවසනවා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමින් ඔවුන් මේ බව සඳහන් කර සිටියේය.

ආරක්ෂිත විශේෂාංග වැඩිකොට සකස් කළ නව රියදුරු බලපත්‍රය ද මේ වසරේදී මුද්‍රණය කර නිකුත් කරන බවයි ඔවුන් මෙහි දී සඳහන් කළේ.

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කාඩ්පත් මිලියනයක් ලබාගැනීමට ද සියලු කටයුතු සම්පාදනය කර අවසන් බව එහිදී ඔවුන් කාරක සභාවට දැනුම් දෙනු ලැබුවා..

මේ අතර නිකුත් කිරීමට පවතින රියදුරු බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීම සඳහා ඒවා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍රයක් සෑම පළාතකම ස්ථාපිත කිරීමට ද මෙහිදී කාරක සභා සභාපතිවරයා, නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව මේ වනවිට ඒ සඳහා සැපයුම්කරුවෙක් තෝරාගැනීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතර අමාත්‍ය මණ්ඩල අනුමතියෙන් පසුව ‍එම ක්‍රියාවලිය අවසන් කර අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ හැකි බව නිලධාරීන් කාරක සභාවට පැවසීය.

තවද දැනට ක්‍රියාත්මක මගී ප්‍රවාහනය සම්බන්ධ ඒකාබද්ධ කාලසටහන පිළිබඳවද මෙහිදී සාකච්ජාවට ලක් කර ඇත.

ඒකාබද්ධ කාලසටහන ක්‍රියාත්මක කිරීම ප්‍රතිපත්තියක් බැවින් එහි පවතින අඩුපාඩු හඳුනාගෙන වඩාත් කාර්යක්ෂම සේවයක් මගීන්ට ලබාදීමට ඉදිරියේදී තවත් ප්‍රදේශවලට මෙය හඳුන්වාදීමට සුදානම් බව කාරක සභා සභාපතිවරයා අදහස් දක්වමින් පැවසුවේය.