අවුරුදු 15-29ත් අතර HIV ආසාදිතයන්ගේ වර්ධනයක්

ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.

වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වනවා.

HIV යනු ලෝකය තුළ ඇති දැඩි ව්‍යසනයක් ඇති කරන දරුණුතම ලිංගාශ්‍රිත වෛරස අතුරින් ප්‍රධාන වෛරසයක්.

ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඍජුවම ප්‍රහාර එල්ල කර ශරීරය දුර්වල කිරීම මෙමඟින් සිදුවන අතර කැස්සක්, හෙම්බිරිස්සාවක් වැනි කුඩා හෝ රෝගයක් වැළඳීමෙන් මරණය පවා සිදුවීම මෙහි ඇති භයානකම තත්ත්වයයි.

HIV ආසාදිතයින් නිර්මාණය විය හැකි ප්‍රධාන ආකාර ත්‍රිත්වයක් පවතී.

1. HIV රෝගියෙක් සමඟ ලිංගික සබඳතා පැවැත්වීම

2. අවිධිමත් ලෙස එන්නත් කටු භාවිතය

3. ආසාදිත ගර්භණී මවගෙන් දරුවාට HIV ආසාදනය වීම

එසේම HIV ආසාදිත සහ ඒ සඳහා ඖෂධ ලබානොගන්නා මවකගේ මව්කිරි හරහා දරුවාට රෝගය බෝවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනාවරණ කරගෙන තිබෙනවා.

නමුත් මෙහි සුබවාදී කරුණ නම් මවගෙන් දරුවාට HIV සම්ප්‍රේෂණය වීම සාර්ථකව අවම කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට 2019 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය හිමි වී තිබීමයි.

2021 වර්ෂයේදී මෙරටින් HIV ආසාදිතයන් 411ක්, 2022 දී 607ක්, 2023 දී 697ක්, 2024 දී 824ක් ද හඳුනා ගෙන තිබෙනවා.

ඒ අතුරින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ පුරුෂයන්ගෙන් වන අතර එය අනුපාතයක් ලෙස ගතහොත් 7:1ක් වනවා.

ඒ අනුව ගතවූ ජනවාරි සිට මාර්තු දක්වා හඳුනාගත් නව ආසාදිතයන් ද ඇතුළුව මේ වනවිට මෙරට තුළ HIV ආසාදිතයන් 6,740ක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ඔබ HIV ආසාදිතයෙක් ද යන්න නිවැරදිව හඳුනාගන්නේ කෙසේද?

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන මඟින් මේ සඳහා නොමිලේ සහ පෞද්ගලිකත්වය සුරැකෙන පරිදි පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවා සපයන අතර ශ්‍රී ලංකාව පුරා පිහිටි ලිංගාශ්‍රිත රෝග සායන 41 කදී HIV ආසාදිතයන්ට නොමිලේ ප්‍රතිවෛරස් ප්‍රතිකාර ලබාදෙයි.

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ ක්ෂණික දුරකථන අංකයට (+94 703 733 933) අමතා රහසිගත සේවාවක් ලබා ගැනීම ද තවත් ක්‍රමයක්.

සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක KNOW FOR SURE යෙදුම හරහා මේ පිළිබඳ සියලු තොරතුරු මනාව දැනගත හැකියි.

එසේම HIV TEST KIT භාවිතයෙන් ස්වයං මුඛ තරල පරික්ෂාවක් හරහා HIV ආසාදිතයෙක් ද නැද්ද යන්න හඳුනාගත හැකියි.