ගාසා යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා අද ඊජිප්තුවේ දී

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා වන එක්සත් ජනපද සාම සැලැස්මක් පිළිබඳ අවසන් එකඟතාවයකට පැමිණීම අරමුණු කරගත් වක්‍ර සාකච්ඡා ඊජිප්තුවේ ෂාර්ම් එල්-ෂෙයික් නගරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

2023 ඔක්තෝබර් 7 වන දින දකුණු ඊශ්‍රායලයට හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයේ දෙවන සංවත්සරය නිමිත්තෙන් මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

පලස්තීන සිරකරුවන් යම් ප්‍රමාණයක් සඳහා සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙහි දී එකඟතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන බවයි BBC වාර්තා කරන්නේ.

මේ අතර ඊශ්‍රායල අගමැති සඳහන් කළේ ඉදිරි දිනවල දී ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

හමාස් සාම සැලැස්මේ යෝජනාවලට අර්ධ වශයෙන් එකඟ වන බව පවසා ඇති නමුත් එහි නිරායුධකරණය සහ ගාසා පාලනයේ කිසිදු අනාගත කාර්යභාරයක් නොමැති වීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් කිහිපයකට ඔවුන් තවමත් ප්‍රතිචාර දක්වා නැහැ.

මේ වන විට ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා විසින් දියත් කළ මෙහෙයුම් වලින් පුද්ගලයන් 67,160 ක් මිය ගොස් ඇති අතර ඒ අතර ළමුන් 18,000 ක් සිටින බවයි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.