රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අගෝස්තු 25 වැනි සඳුදා පෙරවරු 8 සිට දිවයින පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් ව්‍යාජ ප්‍රචාර සිදුවෙමින් ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.
ඒ බව සඳහන් ව්‍යාජ ලේඛන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන්නේ.
මෙම ව්‍යාජ ලේඛන සඳහා සංගමයේ නිල නාමය, ලාංඡනය, ලිපි ශීර්ෂය, සහ ලේකම්වරයාගේ නම හා අත්සන පවා යොදාගෙන ඇති අතර ඒ හරහා වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමක් ලෙස හුවා දැක්වීමටද යම් පිරිසක් උත්සාහ ගෙන තිබෙන බවයි සංගමය පෙන්වා දෙන්නේ.
එසේම එවැනි ව්‍යාජ ප්‍රචාර පැතිරවීම සඳහා රජයට සම්බන්ධ වෛද්‍ය වෘත්තීය සමිතියක් ක්‍රියාකාරීව දායක වන බවට ද එම සංගමය චෝදනා කරනවා.
මෙවැනි උත්සාහයන් මීට පෙර ද සිදු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත් එම සංගමය පවසනවා.
ඒ අනූව ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් ද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

