රනිල් තවමත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පවසනවා.

විජලන තත්ත්වයක් හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) පස්වරුවේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පෙරේදා (22) දහවල් රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගනු ලැබුවා.

2023 වසරේ සැප්තැම්බැර් 22 සහ 23 යන දිනවල මහජන මුදල් රුපියල් ලක්ෂ 166 ක් භාවිත කරමින් පුද්ගලික සංචාරයක් යෑම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු, පෙරේදා පස්වරුවේ රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර එහි දී කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ලබන 26 වැනිදා දක්වා රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබුවා.