උතුරු කොරියාව නව ගුවන් ආරක්ෂක මිසයිල දෙකක් දියත් කරයි

නව ගුවන් ආරක්ෂක මිසයිල දෙකක් දියත් කර ඇති බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ එරට නායක කිම් ජොං උන් විසින් අධීක්ෂණය කරන ලද අත්හදා බැලීමක දී යි.

මෙම අවිවලට උසස් සටන් හැකියාවක් ඇති බවත් ඒවා අද්විතීය තාක්‍ෂණයක් භාවිතා කරමින් නිපදවා ඇති බවත්, කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය (KCNA) සඳහන් කළා.

උතුරු සහ දකුණු කොරියා වෙන් කරන හමුදා මුක්ත කලාපය (DMZ) කෙටියෙන් තරණය කළ උතුරු කොරියානු සොල්දාදුවන්ට, දකුණු කොරියාව විසින් අනතුරු ඇඟවීමේ වෙඩි තැබූ බව තහවුරු කිරීමෙන් පැය කිහිපයකට පසුව මෙම අත්හදා බැලීම සිදු කර තිබීම විශේෂත්වයක්.

දකුණු කොරියාව සහ එක්සත් ජනපදය මේ වන විට මහා පරිමානයේ ඒකාබද්ධ හමුදා අභ්‍යාස පවත්වමින් සිටිනවා.