දළදා වහන්සේගේ ලංකාගමනය සහ දළඳා පෙරහැරේ ඉතිහාසය

ලක්දිව දේශපාලන, සාමාජික, සංස්කෘතික ඉතිහාසයේ මහත් පෙරළියක් හා අභිවර්ධනයක් ඇතිකළ ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩමවූයේ ක‍්‍රි. ව. 310 වැන්නේ අනුරපුර කිත්සිරිමෙවන් රජු දවසයි.

ඛීරධාර නම් රජහුගේ ඇවෑමෙන් බලයට පත් ඔහු බෑණ කුමරුවෝ කළිගු රට දන්ත පුරය වෙත පැමිණ කඳවුරු බැඳ ”දළදා වහන්සේ පාවා දෙන ලෙස හෝ යුධ පිණිස එන ලෙස හෝ දන්වා කළිගු රට ගුහසීව රජු වෙත හසුන්පත් එවූහ. මේ නොකන්කලූ පුවත ඇසූ ගුහසීව රජු දන්ත කුමාරයන් කැඳවා මාගේ දිවි තිබෙනතුරු අන් කෙනෙකුට දළදා වහන්සේ නොදෙමැයි කියා හේමමාලා කුමරිය සමග දළදා වහන්සේ ලක්දිවට වැඩමවා ගෙන යන්නැ’යි ඔවදන් දී සේනා සමග යුධ පෙරමුණට ගියේය.
දන්ත ධාතුන් වහන්සේගේ ආගමනය මහාවංශය, දාඨාවංශය, දළදා සිරිත වැනි මූලාශ‍්‍ර වල සඳහන් වේ. පඩි රජු ඇවෑමෙන් රජ වූ ඛීරධාර රජුගේ බෑණනුවන් කෙනෙකු විසින් ශී‍්‍ර දළදා වහන්සේ ඉල්ලා යළිත් වරක් යුධ අරඹන ලදී. මෙවිට කළිගු රට ගුහසීව රජතුමා තම දියණිය වූ හේමමාලා කුමරිය හා බෑණනුවන් වූ දන්ත කුමරු වෙත ශී‍්‍ර දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂාව පවරා ලක්දිවට පිටත් කර යැවීමට කටයුතු කළේය. යුධ බිමේදී තම පියාණන් වන ගුහසීව රජු මියගිය පුවත ඇසූ හේමමාලා කුමරිය හා දන්ත කුමරු බමුණු වෙස් ගෙන ලක්දිව බලා ගමන් ඇරඹූහ.

දන්ත ධාතූන් වහන්සේ වැඩමවන හේමමාලා කුමරිය සහ දන්ත කුමරු – කැළණි විහාරය


ශ්‍රී දළදා වහන්සේ කේෂ කලාපයෙහි සගවාගෙන, පැමිණෙන අතරමගදී අඹුසැමි යුවල විවිධ දුෂ්කරතා වලට මුහුණ පෑවත් ඒවා ජයගෙන විස්මයජනක සිදුවීම් වලට මුහුණ දෙමින් අවසානයේදී ලක්දිවට සම්ප‍්‍රාප්ත වූහ. මෙම අඹු සැමි යුවල ලක්දිවට දළදාව වැඩම වූයේ සිරි මේඝවණ්ණ (කිත්සිරිමෙවන්) රජුගේ රාජ්‍යෝදයෙන් නව වන වර්ෂයෙහි (ක‍්‍රි. ව. 310 වැන්නේ) බවයි සඳහන් වෙන්නේ.

වෙස්වලා දළදාව සඟවාගෙන තම වාස භූමියෙන් පිටත් වූ හේමමාලා කුමරිය හා දන්ත කුමරු ගංඟානම් ගඟ තරණය කොට ගං ඉවුරේ වැලි තලාව මත වැලි දාගැබක් තනා ඒ තුල දළදාව සැඟවූහ. දන්ත ධාතූන් වහන්සේ පුදමින් සතුරනට අසුවෙතැයි නදිය අසබඩ ගන වන ළැහැබක සැඟවී සිටියහ. එකල්හි ගුවනෙහි ගමන් ගත් එක් රහත් තෙර නමක් ගං තෙර වැලි සෑයෙන් විහිදුනු සවණක් ගන බුදු රැුස් දැක අහසින් බිමට බැස දළදා වහන්සේ වැඩහුන් තැනට වැඩි සේක. එවිට එහි පැමිණි අඹු සැමි යුවලගෙන් තොරතුරු විමසා බියෙන් සිටිනු දැක කිසි බියක් නොසිතා සැප සේ යන්නැයි කියා කිසියම් බියක් වියවුලක් ඇති වූ විටක උන් වහන්සේ සිහිපත් කරන්නැයි වදාළහ. දෙදෙනාගේ බිය පහකරවා සිත් සනසා යළි අහසින් වැඩම කළහ.

ඉක්බිති ඒ ගෙඟහි විසූ පණ්ඩුහාර නම් නා රජු පිරිවර සමග ඇවිදිනාතර වැලි තලාවේ වැලි සෑයෙන් නැගී බුදු රැස් මාලා දැක ප‍්‍රීතියෙන් ඉපිළ කරඬුව රැගෙන ගඟ දියෙහි සැඟ උනේය.
එවිට හේමමාලා හා දන්ත කුමරු වැලි දාගැබෙහි දළදා වහන්සේ නොදැක මහත් සොවින් හඬ හඬා රහත් තෙරුන් වහන්සේ සිහිපත් කර සිටියහ. එකණෙහි රහතන් වහන්සේ ඔවුන්ගේ දුක දැක එහි වැඩම කොට බිහිසුනු ගුරුළු වෙසක් මවාගෙන ගැඹුරු දිය දෙබෑ කර නා රජු බිය ගන්වා දළදා වහන්සේ තැන්පත් කර ඇති රුවන් කරඬුව ආපසු ගෙනැවිත් දළදා වහන්සේ යළි ඔවුනට පාවා දුන්හ. දෙවියන් විසින් රැකවරණය දුන් ඒ දෙදෙනා සොම්නසින් ගම් නියම් ගම් දුර කතර ගෙවා තාම‍්‍ර ලිප්තයෙන් නැව් නැගී ලක්දිව බලා ගමන් ඇරඹූහ.

මහ සයුරේදී චණ්ඩ මාරුතය නිසා අපමන දුක් ගැහැට විඳ දළදා වහන්සේ පෑ විස්මිත පෙළහර දැක රහතන් වහන්සේ සිහිපත් කොට සියලූ උවදුරින් මිදී නෞකාවෙන් ලංකා පට්ටනයට ගොඩ බැස එක්තරා බමුණකුගෙන් මගතොට විමසා දැන ආගන්තුක සංග‍්‍රහ විඳ දළදා වැඩමවා අනුරපුර ආසන්නයේ මේඝ ගිරි නම් විහාරයට පැමිණියහ.

දළදා වහන්සේ රැගෙන පැමිණි හේමමාලා හා දන්ත කුමරු ලංකාවේ පළමුව නවාතැන් ගන්නේ මේ මේඝගිරි විහාරය හෙවත් ඉසුරුමුණි විහාරයේ බව මහාචාර්ය සෙනරත් පරණවිතාණ මහතා ගේ මතයයි. ඉසුරුමුණි විහාරය පෙර දෙවනපෑතිස් රජතුමා විසින් කරවන ලද්දකි. මේඝගිරිය යන්න වලාකුළු සහිත යන අරුත දෙන්නකි. මේ නිසාම දළදාව හා වර්ෂාව අතර සමිබන්ධයක් ඇතැයි ජනප්‍රවාදයේ පිළිගැනීමයි. මේ නිසාම වර්ෂාව නොලැඛෙන නියඟ කාලවලදී දළදා වහන්සේ වෙනුවෙන් විශේෂ පූජා හා දළදා ප්‍රදර්ශන වර්තමානයේද පවත්වන්නේ එබැවිනි. දළදා පෙරහැර අවසානයේ දියකැපීමෙන් පසුව වර්ෂාව ලැබෙන බවට මතයක් වර්තමානයේද ලාංකිකයන් අතර පවතී.

දළදා වහන්සේ ලක් දිවට වැඩමවූ පුවත අසන විට කිත්සිරිමෙවන් රජු උයන් කෙළියේ යෙදී සිටියේය. රජු මේ පුවත අසා බොහෝ සතුටට පත්ව උයන් කෙළියද නවතා වහා දළදා වහන්සේ දැක ගනු කැමතිව මේඝගිරි විහාරයට ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

දළදා වහන්සේ ලක් දිවට වැඩම කිරීමේ පුවත මහාවංශය සදහන් වන්නේ පහත පරිදිය.


“ඒ රජු දවස නව වන වස එක්තරා බැමිණියක් තොමෝ බුදු රජහු දළදාව කලිඟු රටින් මෙහි ගෙණවා (එළු) දළදාවස කී පරිද්දෙන් රජ තෙමේ ඒ ගෙන බහුමානයෙන් උතුමි පුදකොට හුදු පිළිමණින් කළ කරඩුවෙක බහා දෙවන පෑතිස් රජු විසින් රාජාරාමයෙහි කරවන ලද දමිසක් නම් ගෙයි වැඩුයේයි. එතැන් පටන් ඒ ගෙය “දාඨාධාතුඝර” නම් වී ඉක්බිති සම්පූර්ණ සිත් ඇති රජ තෙමේ නව ලක්ෂයක් දන විසදා දළදා මහ පෙළහර කළේය. අවුරුදු පතා අභයගිරි විහාරයට වඩාගෙන ගොස් ඒ දන්ත ධාතුවට මෙබදු පූජා කරවයි නියෝග කළේය”

දාඨාවංශයේ මෙයට වඩා දීර්ඝ විස්තරයක් දැක්වේ. නමුත් එය මහාවංශයට වඩා තරමක් වෙනස් වනවා.

මහාවංශයට අනුව දළදාව වඩම්මවා ඇත්තේ කිසියම් බැමිණියක විසිනි. කාලිංගයේ සිට ගෙනාවා වුවද එය හේමමාලී හා දන්ත කුමාරුන් විසින් ගෙන ආ බවක් ඉන් නොකියවේ. රාජාවලිය තුළ රන්මාලි නම් කෙනෙක් විසින් ගෙන ආ බවක් දක්වා ඇත. පූජාවලියේ ද එසේමය. නමුත් දාඨාවංශයට අනුව පෙනී යන්නේ හේමමාලා හා ඇගේ සැමියා වන දන්ත කුමරුන් සමග බමුණු වේෂයෙන් දළදාව රැගෙන ආ බවකි.

මහාවංශය දක්වන පරිදි රජු තම මාලිගාව පිහිටි භූමිය ආසන්නයේම ස්ථානගත එනම් දේවානම් පියතිස්ස රජු කළ ධම්මචක්කගෙහි දළදාවහන්සේ තැන්පත් කර ඇත. එතැන් පටන් එය “දාඨාධාතුඝර” ලෙස ප්‍රකට වූ බවක් සදහන් වේ. දළදා සිරිතට අනුව එය මහමෙවුනා උයන් තුළ පිහිටා තිබුණි.

තවදුරටත් දළදා සිරිත හා දළදා පූජාවලිය ආදී මූලාශ්‍රවල සදහන් වන ආකාරයට, එතැන් පටන් ශ්‍රි දළදා වහන්සේ විෂයෙහි ඉමහත් පුදසත්කාර නිතිපතා පැවැත්වූ කිත්සිරිමේඝ රජු තම රජමාලිගාව අසලම නව දළදා මැදුරක් ඉදිකරවා දළදා වහන්සේ එයට වැඩමවා ඇත. එපමණක් නොව තමන්ට පසුව රජවන සියලුම රජවරුන් ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් වන සියලුම වත් පිළීවෙත් පුදපූජා ,පෙරහැර ආදිය නොඅඩුව පැවැත්විය යුතු බවත් එය ඉරහඳ පවත්නා තෙක්ම රාජ නියෝගයක් මෙන්ම උත්තරීතර සම්මුතියක් ලෙස ඔහු විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මහාවංශයට අනුව දළදා වහන්සේ තැන්පත් කෙරුණු මුල්ම දළදා මාලිගාව රජු විසින්ම ඉදි කළ එකක් බව පෙනෙයි.

මේ අනුව කීර්ති ශ්‍රි මේඝවර්ණ රජු ප්‍රථම දළදා පූජාව පවත්වා තෙවරක්ම ලංකා රාජ්‍යයෙන් දළදාව පුදා ඇත. එතැන් සිට රාජ්‍ය පැමිණි සෑම රජ කෙනෙකුම ශ්‍රි දළදා වහන්සේ සිය රාජ්‍යත්වයේ සංකේතය ලෙස සලකා කටයුතු කලද සියලු රජවරුන් දළදාව පිදුබව පිළිගත නොහැක්කේ රජවරු කිහිපදෙනෙක් පමණක් දළදාව පිදු බව සදහන්ව ඇති හෙයිනි.

මේ යුගයේදී දළදා වහන්සේ ගැන වංශකථාවේ සදහන් වන්නේ කලාතුරකින් වුවද බොහෝ සිංහල බෞද්ධයන්ගේ සිත් දළදා ඇදහිල්ල කෙරෙහි ඇදී ගිය සැටිත් එකල රජවරුන් ඉතා උනන්දුවෙන් දළදා පූජා පැවැත්වූ සැටිත් පාහියන් හිමියන්ගේ විස්තරයෙන් අපට දැනගත හැකිය.

ඉහත විස්තර අනුව බැලූ කළ දළදා පෙරහැර මුල්වරට ලංකාවේ ආරම්භ වී ඇත්තේ ක්‍රි.ව. හතරවන සියවසේදීය. එනම් ක්‍රීර්ති ශ්‍රී මේඝවර්ණ (ක්‍රි.ව 301-328) රජතුමාගේ කාලයේය. මෙහිදී දළදාව රාජකීය මන්දිරයේ සිට අභයගිර විහාරයට පෙරහැරින් වැඩමවා එය දර්ශනය කොට විවිධ පුද පූජා පැවැත්වීමට සැලැස්සූ බව පෙනේ. දළදා වහන්සේ අභයගිරියට වාර්ෂිකව වැඩමවා පෙරහැරක් කරවීමෙන් අභයගිරි හා දළදාවහන්සේ අතර තිබූ සම්බන්ධතාවය පෙනී යයි.

(තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන්)