යුක්රේනය සහ අමෙරිකාව අතර ඛනිජ සංවර්ධනය කිරීමේ ගිවිසුමක්

යුක්රේනය සහ අමෙරිකාව අතර ඛනිජ සංවර්ධනය කිරීම පිළිබඳ ගිවිසුමක් අත්සන් කිරීමේ ආරම්භක පියවරක් ලෙස සංදේශයකට අත්සන් තබා තිබෙනවා.

ඊට අදාළ ගිවිසුම ලබන සතියේ අත්සන් කළ හැකි බවයි ට්‍රම්ප් සඳහන් කරන්නේ.

යුක්රේනයේ නියෝජ්‍ය මෙන්ම ආර්ථික ඇමතිනී යුලියා ස්වයිරිඩෙන්කෝ සිය X ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් සහ යුක්රේනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආයෝජන අරමුදලක් පිහිටුවීම යන අරමුණින් මෙලෙස දෙරට අතර සංදේශයකට අත්සන තබා ඇති බවයි.

හිටපු ජනාධිපති ජෝ බයිඩන් යටතේ වොෂින්ටනය යුක්රේනයට ලබා දුන් මිලිටරි ආධාර සඳහා ආපසු ගෙවීමක් ලෙස යුක්රේනයේ ස්වභාවික සම්පත් සහ තීරණාත්මක ඛනිජ ලවණ සඳහා වරප්‍රසාද ලත් ප්‍රවේශයක් ලබා ගැනීමට එක්සත් ජනපදයට ඉඩ සලසන ගිවිසුමක් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

පසුගිය පෙබරවාරි මාසයේ දී මෙම ගිවිසුම අත්සන් කිරීම ගැන අමෙරිකාව සමග සාකච්ඡා පවත්වා තිබූ අතර, එය දෙරටේ ජනාධිපතිවරුන් අතර වූ ආරවුලක් හේතුවෙන් තාවකාලිකව අඩාල වී තිබුණා.