පළාත් පාලන මැතිවරණ දිනය පැවැත්වෙන දිනය ගැන ඉඟියක්

නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා.

අද (6) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ ම⁣හලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවති මැතිවරණ කොමිසමේ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

එසේම පළාත් පාලන මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීම සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවද ඔහු පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,

“නාමයෝජනා භාරගන්න දවසේ අපි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක් ක්‍රියාත්මක කරනවා. ඒ ගැන අපි පොලීසිය එක්ක සාකච්ජා කරලා තියෙන්නෙ. අද අපි වැඩබලන පොලිස්පතිවරයා සහ ජේශ්ඨ පොලිස් නිලධාරීන් එක්ක මේ ගැන සාකච්ජා කළා. 

මේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ නාමයෝජනා භාරගන්න දිනයේ ඉදන්ම ක්‍රියාත්මක වෙනවා. අපි හෙට රජයේ මුද්‍රණාලයාධිපතිවරයා සහ එහි නිළධාරීන් එක්ක සාකච්ඡා කරනවා. ඊට පස්සෙ නිල ඡන්ද පත්‍රිකා ගෙයින් ගෙට බෙදාහැරීම ගැන තැපැල්පති එක්ක සාකච්ජා කරන්න බලාපොරොත්තු වෙනවා. 

මේ වෙද්දි ඇප මුදල් භාර ගැනීමේ කටයුතු ආරම්භ වෙලා තියෙන්නෙ. ඒ වැඩකටයුතු 19වනදා මධ්‍යහන 12න් අවසන් වෙනවා. ඒ වගේම පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා භාරගෙන තිබූ ඇප මුදල් යළි ලබාදීමේ කටයුතු ද අපි ආරම්භ කර තිබෙනවා” .