ලබන අප්‍රේල් මස පැවත්වෙන දළදා ප්‍රදර්ශනය නැරඹීමට අවම තරමින් ලක්ෂ 20ක පමණ බැතිමතුන් සංඛ්‍යාවක් මහනුවරට පැමිණෙනු ඇති බවට අනුමාන කෙරෙනවා.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන්ගේ ප්‍රධානත්වයෙන් දළදා දැක්මේ සංවිධාන කටයුතු සම්බන්ධව අද (06) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවක දී මේ බව ප්‍රකාශකර තිබෙනවා.
දින 10 තුළ දළදා දැක්ම පැවැත්වෙන කාල සිමාවේ දී තත්ත්පරයට තිදෙනා බැගින් දළදා වහන්සේ වන්දනා කරන බවට අනුමාන කළත් එම කාලය තුළ දළදා මාලිගය තුළට ඇතුළු වීමට හැකියාව ඇත්තේ ලක්ෂ 06ක පමණ පිරිසකට බවයි මෙහිදී අනුමාන වී ඇත්තේ.
මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන හැකි තරම් විශාල පිරිසකට දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව ලබාදිය යුතු බවයි එම සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ.
අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන, මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික මහවෙල රතනපාල යන නාහිමිවරු ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ ඇතුළු පිරිසක් සහභාගි වී තිබෙනවා.
එහි දී දළදා දැක්ම නැරඹීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීම, නගරය ආලෝක කිරීම, යටිතල පහසුකම් සුපරාලීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.
එසේම බැතිමතුන් සඳහා දන්සල් ලබාදීම සිදුකළ හැක්කේ නගර සභාවේ ලියාපදිංචි වීමෙන් පමණක් බව මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන්කර සිටියේ.
මහනුවර වැව රවුමේ සිට රතු බෝක්කුව දෙසින් මහාමායා බාලිකාව ඉදිරිපිටින් ද අවන්හල දෙස සිට උල්පැන් ගේ අසලින් වැව රවුමේ ඔස්සේ ද මහනුවර ඩි.එස් සේනානායක වීදිය දෙසින් ද පෝලිම් තුනක් ඔස්සේ ජනතාව මහමළුවට ඇතුළු කර ගන්නා බවත් ඔවුන් සියලු දෙනා අවස්ථා දෙකක දී පරීක්ෂාවට ලක් කරන බවයි සාකච්ඡාවේදී තීරණය වූයේ.
දළදා දැක්ම පැවැත්වෙන කාල සීමාවේ නගර සීමාවේ සියලුම මත්පැන් අළෙවි සැල් හා මස් කඩ වසා දැමීමට ද තිරණය කර තිබෙන බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන් පවසා සිටියේ.

