මාර්තු 05 සිට වෛද්‍යවරු වර්ජනයකට සැරසෙයි

එළැඹෙන මාර්තු 05 දින සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයකට යාමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දින තීරණය කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනාව කප්පාදුව සම්බන්ධයෙන් රජයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණෙහොත් මෙම වැඩවර්ජනය සිදු කරන බවයි.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා,

“2025 අයවැය හරහා වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි යෝජනාව මූලික වැටුපෙන් 1/80 සහ නිවාඩු දින දීමනාව මූලික වැටුපෙන් 1/20ක කියන අගයත් කප්පාදු කරලා. 1/80 වෙනුවට 1/120 ලබාදෙන බවත්, නිවාඩු දින දීමනාව 1/20 වෙනුවට 1/30 ලබාදෙන බවටත් තීන්දු තීරණ අරන් තියෙනවා. වෛද්‍යවරුන්ට හිමි අමතර රාජකාරි දීමනාව 1/80 නැවත ලබා දිය යුතුයි. නිවාඩු දින දීමනාව 1/20 නැවත ලබා දිය යුතුයි.” 

“06 වෙනිදා වන විටත් මේ නිවැරදි කිරීම කරන්න, 07 වෙනිදා ඉඳන් අපි දැඩි තීන්දු තීරණ ගැනීමට නියමිතයි. 07 වෙනිදායින් පසු රජයට නැවත වරක් දෙවරක් සිතන්න වෙයි සෞඛ්‍ය සේවා පවත්වා ගන්නේ කොහොමද කියලා.”