දළඳා ප්‍රදර්ශනයට දින නියම වෙයි

වසර 16කට පසු පැවැත්වීමට කටයුතු යොදා තිබෙන දළදා ප්‍රදර්ශනය ලබන අප්‍රේල් මස 18වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳ මහනුවර ජනපති මැදුරේදී අද (02) පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ බව සඳහන් කළේ.

‘සිරි දළදා දැක්ම’ නමින් පැවැත්වෙන මෙය ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේදී පුරා දින 10ක් පැවැත්වීවමට කටයුතු යොදා තිබෙනවා.

දළදා ප්‍රදර්ශනය සමාරම්භක දිනය වන 18 වන දා පමණක් ප.ව. 3ට ආරම්භකර ප.ව. 5.30ට අවසන් කෙරේ.

ඉන් අනතුරුව 19වනදා සිට 27වනදා දක්වා දහවල් 12 සිට ප.ව. 5.30 දක්වා ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ අතර දළදා දැක්ම නැරඹීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සෑම දිනකම රාත්‍රී කාලයේ දන්සල් 2ක් පවත්වන බවත්, එමගින්  30,000කට ආහාර ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් දියවඩන නිලමේවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම මෙවර දළදා දැක්ම වෙනුවෙන් විශේෂ අවසරපත් කිසිවක් නිකුත් නොකිරීමට ද තීරණය කර තිබෙනවා.