හෙට (12) දිනය පෝය දිනයක් බැවින් විදුලි කප්පාදුවකින් තොරව දිවයින පුරා විදුලිය සැපයීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පවසනවා.
සාමාන්‍ය රාජකාරි දිනයකට තිබෙන ඉල්ලුමට වඩා අඩු විදුලි ඉල්ලුමක් පෝය දිනයකදී පවතින බැවින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
සාමාන්‍ය රාජකාරි දිනයකදී විදුලි ඉල්ලුම මෙගා වොට් 2,600ක් පමණ වන වනවා.
නමුත් නොරෝච්චෝල බලාගාරය අක්රියවීමත් සමඟ මේ වන විට තාප බලාගාර සහ අනෙකුත් බලාගාර වලින් උත්පාදනය වන්නේ මෙගා වොට් 2,300ක් පමණි.
මේ හේතුවෙන් දෛනිකව මෙගා වොට් 200ක් හෝ 250ක් පමණ ප්‍රමාණයක් සැපයීමට නොහැකි බැවින් විදුලිය කප්පාදුව කිරීමට සිදුව තිබෙනවා.
කෙසේවෙතත් පෝය වැනි නිවාඩු දිනයකදී අවශ්‍ය වන විදුලිය ඉල්ලුම මෙගා වොට් 2,100ක් පමණ වන බැවින් දවස පුරාම විදුලිය අඛණ්ඩව ලබාදීමේ හැකියාව පවති.
එමෙන්ම මේ වන විටත් නොරෝච්චෝල ගල්අඟුරු බලාගාරය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවත් සිකුරාදා (14) දිනය වන විට නිසැකවම එය ජාතික විදුලි සැපයුම එක් කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

