ත්‍රිපෝෂ සමාගම සංවර්ධනය කිරීමේ සැලසුමක්

කඳානේ පිහිටි ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපෝෂ සමාගමේ වත්මන් තත්ත්වය සහ එහි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ අදාළ නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවකදීය.

පැවැති රජයන් මෙම ත්‍රිපෝෂ සමාගම සංවර්ධනය කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට විධිමත් සහ ඉලක්කගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම මත එහි ප්‍රතිලාභ ජනතාවට අහිමි වන තත්ත්වයක් උදාවෙමින් පැවැති බවයි අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේ.

එම තත්ත්වය වෙනස් කර නැවත මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපයන සක්‍රීය ආයතනයක් බවට ත්‍රිපෝෂ සමාගම පත් කිරීමටත් රජය කටයුතු කරන බව අමාත්‍යරයා පැවසීය.

එමෙන්ම ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට වෙනුවට එය රටේ ජනතාවගේ උන්නතිය සහ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් ලාභ ලබන ආයතනයක් බවට පත් කරමින් විධිමත් සංවර්ධන වැඩපිළිවෙළක් යටතේ රජය සතු දියුණු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් ඔහු මෙහිදී පැවසීය.

ඉදිරියේදී ත්‍රිපෝෂ නිශ්පාදන ආයතනයේ කටයුතු දියත් කිරීමේදී සමාගමට අවශ්‍ය බඩඉරිඟු හා සෝයා සපයන මෙරට ගොවි නිෂ්පාදකයින්, ව්‍යවසායකයින් දිරිගන්වමින් සහ ඒකාබද්ධ කරමින් ඔවුන්ගේ නිෂ්පාදන ත්‍රිපෝෂ සමාගම මිලදී ගන්නා අඛණ්ඩ ක්‍රමවේදයක් සැකසිය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.