රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු සම්බන්ධයෙන් දැනුම් දීමක්

විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

අදාළ නිවාඩු අනුමත කිරීමේ දී දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

2022 වසරේ ජුනි මස 22 වන දින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව වැටුප් රහිත නිවාඩු ලබාදීමේ දී සිදුවන අක්‍රමිකතා මඟහරවා ගැනීම සඳහා එම උපදෙස් මාලාව නිකුත් කර ඇත.

ඇතැම් රාජ්‍ය නිලධාරීන් වසර 05ක් සඳහා දේශීය නිවාඩු ලබාගෙන එම නිවාඩු අවලංගු කිරීමකින් තොරව විදේශ නිවාඩු අයදුම් කිරීමේ සිදුවීම් ද වාර්තා වන බැවින් ඒ පිළිබඳව නිවාඩු අනුමත කිරීමට පෙර සලකාබලන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇති බව සඳහන්ය.

විදේශ නිවාඩු අයදුම්පත් යොමු කිරීමේ දී නිලධාරීන් විසින් මීට පෙර ලබා ඇති දේශීය හා විදේශීය නිවාඩු පරීක්ෂා කර ආවරණ ලිපිවල ඒ පිළිබඳව පැහැදිලිව සටහන් කළ යුතු බව අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.