වසර 56කට පසුව දුක සතුට දෙකම ගෙන ආ ඒ ආරංචිය

ඒ ආරංචිය ඇහුවම නම් දුක් වෙන්න ද සතුටු වෙන්න ද කියලා හිතා ගන්නවත් බැරිව ඇති…

ඉන්දියාවේ යුද හමුදාවේ සෙබළකුගේ මළ සිරුරක් වසර 56කුත්, මාස 8කට පසු සොයා ගෙන තියෙනවා.

ඔහු ඉන්දියාවේ හිමචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ Rohtang කඳු ආශ්‍රිතව 1968 පෙබරවාරි 7 වන දින දී සිදුවූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ කෙනෙක්.

චෙරියන් තෝමස් නමැති මේ යුද හමුදා සෙබළා සමඟ එම ගුවන් යානයේ ගමන් කළ පුද්ගලයන් 102 දෙනකුට අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ ගුවන් අනතුරින් ජීවිත අහිමි වූ අතර, වසර ගණනාවක් යනතුරු එම ගුවන් යානයේ සුන්බුන් පවා සොයා ගත නොහැකි වී තිබිණි.

ලොහොම වුණත් ගුවන් අනතුරින් අතුරුදන් වූ තම වැඩිමල් සොහොයුරාගේ මළ සිරුර සොයාගෙන ඇති බවට පසුගියදා කේරළ ප්‍රාන්තයේ පටානම්තිටා දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයක සිට චෙරියන් තෝමස්ගේ බාල සොහොයුරු තෝමස්ට දුරකතන ඇමතුමක් ලැබිලා තියෙනවා.

අඩි 16,000කට ආසන්න උසකින් යුත් ඩකා ග්ලැසියර ප්‍රදේශයෙන් යුධ හමුදාවේ ඩෝග්‍රා බාලදක්ෂයින් ප්‍රමුඛ කඳු නැගීමේ කණ්ඩායම් විසිනුයි මෙම සිරුර ගොඩ ගෙන තියෙන්නේ.

එහි දී ඔහුගේ සිරුර ඇතුළු සිරුරු හතක් මේ විදිහට ගොඩ අරන් තියෙනවා.

ගුවන් අනතුර සිදුවන විට 22 හැවිරිදි වියෙහි පසුවූ චෙරියන් තෝමස්ගේ මළ සිරුර අඩසිය වසරකටත් පසුව හඳුනා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ හිමචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ අධික හිම සහිත ඩකා ග්ලැසියරය ආසන්නයෙන් වීමත්, එය මුහුදු මට්ටමේ සිට අඩි 16,000ක් ඉහළින් පිහිටා තිබීමත් හේතුවෙන් බවයි වාර්තා වෙන්නේ.