2024 – 09 – 08

හිරු නැගීම – 06 : 01

හිරු මුදුන් වීම – 12 : 07

හිරු බැසීම – 18 : 13

අද සැප්තැම්බර් අට වෙනිදා , ඉරිදා .

මේ සැප්තැම්බර් මාසේ පලවෙනි ඉරිදා දවස . මේ මාසෙට අද වගේ දවස් හතරක් තියෙනවා . ඒ කියන්නේ තව ඉරිදා දවස් තුනකින් මේ මාසේ ඉවරයි .

හරි ඉක්මනට කාලය ගත වෙනවා නේද ..

කාලය අපිට අල්ලලා තියා ගන්න බැහැ නේ . ඒ නිසා අපිට ඉක්මනට ගත වෙන කාලයට හුරු වෙන්න වෙනවා . අපේ දේවල් ඉක්මනට අඩු කාලයක් වැය කරමින් කර ගන්න අපිට සිද්ධ වෙනවා . ඒ වගේම තමයි අපි යම් දෙයකට යොදවන කාලයේ ඵලදායිතාවය වැඩි කර ගන්නත් ඕනේ . එතකොට තමයි අපිට මේ කාර්යබහුල ජිවන රටාවේ හොදට ඉන්න පුළුවන් වෙන්නේ .

අද දවස ගත්තොත් අද ලෝක සාක්ෂරතා දිනය – International Literacy Day එක . සාක්ෂරතාවය කියන්නේ යම් භාෂාවක් ලියන්න , කියන්න , අවබෝධ කර ගන්න තියෙන හැකියාව. ශ්‍රී ලංකාවේ නම් ගැහැණු පිරිමි බේදයක් නැතුවම සාක්ෂරතාවය ඉතා ඉහළ මට්ටමක පවතිනවා දැන් . හැමෝටම වගේ මූලික ලිවීමේ සහ කියවීමේ හැකියාව තියෙනවා .

කොහොම වුණත් ආර්ථික අපහසුතා තිබීම , ගැහැණු බව නිසා සමහර රටවල අධ්‍යාපනය ලැබීමේ අයිතිය නැති වෙලා තියෙනවා . එහෙම වුණාම සාක්ෂරතා මට්ටම ඒ රටේ පහළ යනවා . එකට හොඳම උදාහරණයක් තමයි අසල්වැසි ඉන්දියාව . එකේ ගැහැණු පිරිමි භේදය ලොකුවටම තියෙන නිසා සමහර ප්‍රදේශ වල ගැහැණුන්ට අකුරු ඉගෙන ගැනීමට අවස්තාවක් වෙන්නේ නැහැ . සමාජ තත්ත්වය සහ ආරථික තත්ත්වය නිසා ඒ දේවල් පිරිමි අයට විතරක් සීමා වෙනවා .

1966 වසරේ UNESCO විසින් මෙහෙම දවසක් නම් කරලා තියෙන්නේ ගෝලීය සාක්ෂරතා මට්ටම ඉහළ නැංවීමේ වැදගත්කම පෙන්වා දීමට සහ හැමෝටම මූලික අධ්‍යාපනය ලබා දෙමින් සාක්ෂරතාවය ඇති කිරීමේ අරමුණින් . අධ්‍යාපනය ලැබීම අපි හැමෝගෙම අයිතියක් .

ලංකාවේ තියෙන නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන ගන්න . .. ඇත්තටම ඒක අපේ රටේ තියෙන ගොඩක් ලොකු වටිනාමක් . ලංකාව කියන්නේ සෑහෙන්න ආර්ථික දුෂ්කරතා තියෙන රටක් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ . ඒ වුණත් නිදහස් අධ්‍යාපනය යටතේ නොමිලේ පාසල් පෙළපොත් , නිල ඇඳුම් තවමත් ළමයින්ට ලැබෙනවා . මේ රටේ රාජ්‍ය විශ්ව විද්‍යාල ගණනාවක් තියෙනවා . ඒවාගේ ලක්ෂ ගණන් වටිනා උපාධි නොමිලයේ ලබා දෙනවා . ඒක වෙන ලොකු රටවල නැති දෙයක් . ඉතින් ඒවාගෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපේ රටේ ජනතාව දැන ගන්න ඕනි කියලයි මම නම් හිතන්නේ .

ඒ වගේම සැප්තැම්බර් 8 කියන්නේ ආච්චි සීයාගේ දවස . ආච්චි සීයා කියන්නේ අපේ දෙවෙනි අම්මයි තාත්තයි වගේ . හරිම සුන්දර ළමා කාලයක් තියෙනවා ළමයි එයාගේ ආච්චි සීයා එක්ක හැදෙනවා නම් . ඉතින් ඔයාගේ ආච්චි සීයා ඉන්නවා නම් , ඔන්න අද එයාලව බලල එන්න , කෝල් එකක් හරි දෙන්න හොඳම දවසක් .

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න . ඉස්සරහට එන සතියට හොඳට මුහුණ දෙන්න අද ඔක්කොම ප්ලෑන් කරලා තියා ගන්න .

ජය වේවා ! තෙරුවන් සරණයි !