උසස් පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

2023/2024 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී ලබාදීමට උපරිම උත්සාහයක් දරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

එසේම 2023 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස මැද දී පැවැත්වීමේ විභාග කාලසටහන් මේ වන විටත් සකසා අවසන් ව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරන ලද ‘පර්යේෂණ උපාධි අධීක්ෂණය කිරීම’ සඳහා දායක වූ ශ්‍රී ලාංකීය පරියේෂණ උපාධි අධීක්ෂකයන් සම්මානයට පාත්‍ර කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේ පැවති සම්මාන උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනුයි ඔහු මේ බව පවසා සිටියේ.

එසේම උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා වැඩි කිරීමට අදාළව පත් කරන ලද ඒකාබද්ධ කමිටුවේ වාර්තා ලැබී ඇති අතර ඉදිරි සති කිහිපය ඇතුළට ඊට අදාළ අනුමැතිය ලබා ගැනීමට ක්‍රියා කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. 

සාමාන්‍ය පෙළ විභාග පරීක්ෂකවරුන් 35,000ක් හා උසස් පෙළ විභාග පරීක්ෂකවරුන් 19,000 පමණ සිටින අතර මේ සියලු දෙනාට සෑහීමකට පත් විය හැකි මට්ටමේ දීමනාවක් ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද හෙතෙම මෙහිදී සඳහන් කළේය.