නඩු ප්‍රමාදය වැළැක්වීමට සමථ මණ්ඩල ක්‍රමය ප්‍රචලිත කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ අධිකරණ වල පවතින නඩු ප්‍රමාදය වැලැක්වීමට සහ ජනතාවට වැයවන විශාල වියදම සහ කාලය කැපකර නඩු කටයුතු ඉදිරියට ගෙනයාමේ ක්‍රමය වෙනුවට සමථ මණ්ඩල ක්‍රමය ප්‍රචලිත කරීමට සැලසුම් කර තිබෙනවා.

මේ වන විටත් කටයුතු කර අධිකරණ වල නඩු ගෙඩගැසීම වැලැක්වීමට අවශ්‍ය මූලික පියවර ගෙන තිබෙන බවයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසන්නේ.

සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කාර්ය භාරය හා 2024 අංක 02 දරණ සමථ මණ්ඩල ( සංශෝධන ) පනත පිළිබදව ඊයේ (15) අධීකරණ අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

1988 අංක 72 පනත මඟින් සමථ මණ්ඩල පනත මඟින් සමථ මණ්ඩල කොමිෂන් සභාව පිහිටුවීමෙන් අනතුරුව 2015 පමණ කාලය වන විට ශ්‍රී ලංකාව තුළ පැවති නඩු කටයුතු වලින් 45% පමණ ප්‍රමාණයක් ඒ හරහා විසඳනු ලැබුවා.

එසේම සමථ මණ්ඩල ක්‍රමය තුල කරන ලද විවිධ ප්‍රතිසංස්කරණ හරහා මෙ වන විට නඩු විසදීමේ ප්‍රතිශතය 70% පමණ ප්‍රමාණයකින් ඉහල ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.