අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු සඳහා කිසිදු හානියක් සිදු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.
එම ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු සඳහා මෙන්ම පානීය ජල අවශ්‍යතාවට ද විසඳුම් ලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ව්‍යාපෘතිය සම්බන්ධව ගොවි ජනතාව කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවයි සඳහන් කළේ.
අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (15) පෙරවරුවේ එක් වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.
දීර්ඝකාලීනව වකුගඩු රෝගයෙන් පීඩා විඳින මැදවච්චිය, පදවිය, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන සහ කහටගස්දිගිලිය ප්‍රදේශවල ජනතාවගේ පිරිසුදු පානීය ජල අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) මූල්‍ය සහයෝගීතාව මත ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් රුපියල් මිලියන 11,515ක වියදමින් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.
මෙහි පළමු අදියර අනුරාධපුර මහ කනදරාව වැව ප්‍රධාන ජල මූලාශ්‍රය කොටගෙන ක්‍රියාත්මක කර තිබෙන අතර ඒ යටතේ රඹෑව සහ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම සේවා වසම් 75ක පවුල් 25,000ක පමණ පානීය ජල අවශ්‍යතාව සපුරාලයි.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය පාලන සමයේ සැලසුම් කළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්, උතුරු මැද පළාත පුනර්ජනනීය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමටද රජයේ අවධානය යොමුව ඇති බවත්ය.
දේශපාලන වශයෙන් බෙදී වෙන් වී රට ගොඩනැඟිය නොහැකි බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ආණ්ඩුව හෝ විපක්ෂය වෙනුවෙන් නොව රටේ ජනතාවට සමෘද්ධිමත් ජීවන තත්ත්වයක් ලබාදීම වෙනුවෙන් එකට එක්වන ලෙස සියලු පාර්ශ්ව වෙත නැවත ආරාධනා කළේය.

