ඉල්හාම් අලියෙව් අඛණ්ඩව පස්වෙනි වරටත් ජනපති ධුරයට

බදාදා පැවති ජනාධිපතිවරණයෙන් අඛණ්ඩව පස්වෙනි වරටත් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීමට අසර්බයිජානයේ ජනාධිපති ඉල්හාම් අලියෙව් සමත් වී තිබෙනවා.

මධ්‍යම මැතිවරණ කොමිසමේ ප්‍රධානී Mazahir Panahov ප්‍රකාශ කර ඇත්තේ ඉල්හාම් අලියෙව් විසින් 92%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති බවයි.

පසුගිය සැප්තැම්බරයේ ආර්මේනියානු බෙදුම්වාදීන්ගෙන් නගෝර්නෝ-කරබාක් කලාපය නැවත අත්පත් කර ගැනීමෙන් වසරකට පසුව මෙලෙස හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වූ අතර 67.7% ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

අසර්බයිජානයේ ප්‍රධාන විපක්ෂය මෙම ඡන්දයට සහභාගී වීම වර්ජනය කර ඇති අතර ඉල්හාම් අලියෙව් සමඟ තරඟ කළ අනෙකුත් අපේක්ෂකයන් හය දෙනාද එතරම් ප්‍රසිද්ධ පුද්ගලයන් නොවේ.

මේ හේතුවෙන් මෙම මැතිවරණය මාධ්‍ය නිදහසකින් තොරව සහ නිසි පරිදි විපක්ෂයක් නොමැතිව පැවැත්වුණු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.