සෙනසුරුගේ තවත් චන්ද්‍රයෙක් තුළ සැඟවුණු සාගරයක්

Star Wars කතා මාලාවේ එන Death Star ට සමාන දැවැන්ත ආවාටයක් සහිත සෙනසුරුගේ චන්ද්‍රක් වන Mimas හි කබොලට සැතපුම් ගණනක් යට සැඟවුණු සාගරයක් ඇති බව පර්යේෂකයෝ පවසනවා.

මෙම අනපේක්ෂිත සොයා ගැනීමත් සමඟ Mimas චන්ද්‍රයා ද සෙනසුරුගේ Titan සහ Enceladus මෙන්ම බ්‍රහස්පති ග්‍රහයාගේ Europa සහ Ganymede යන චන්ද්‍රයන් අයත් වන කුලකයටම වැටෙනු ඇත. ඒ සියලු චන්ද්‍රයන්ගේ භූගත මට්ටමේ සාගාර ඇති බවට මින් පෙර අනාවරණය කර ගෙන තිබෙනවා.

ප්‍රංශයේ Observatoire de Paris හි තාරකා විද්‍යාඥ Valéry Lainey පැවසුවේ Mimas හි මතුපිට දෙස නිරීක්ෂණය කිරීමේ දී එහි සාගරයක් ඇතැයි යන්නට සැක කළ හැකි කිසිවක් නිරීක්ෂණය කළ නොහැකි බවයි. මේ හේතුවෙන් සුවිශේෂී සොයා ගැනීමක් ලෙසයි ඔහු හඳුන්වන්නේ.

Mimas සෙනසුරු වටා සිදු කරන භ්‍රමණය සහ කක්ෂ චලිතය ප්‍රතිනිර්මාණය කළ තාරකා විද්‍යාඥයන්ට පෙනී ගොස් ඇත්තේ එය ගමන් කරන ආකාරයට ගමන් කිරීමට සැඟවුණු භූගත සාගරයක් තිබිය යුතු බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මිමාස්ගේ භ්‍රමණය සහ කක්ෂය යන දෙකම දෘඩ අභ්‍යන්තරයකින් සෑදිය නොහැකි අතර ඒ හේතුවෙන් අනිවාර්යයෙන් ගෝලීය සාගරයක් එහි පැවතිය යුතු බවයි.

අදාළ ගණනයන්ට අනුව මීමාස්ගේ සැතපුම් 15ක් ඝන අයිස් කවචයට යටින් සැතපුම් 45ක් ගැඹුරු සාගරයක් සැඟවී ඇති අතර මුහුදු පත්ල ආසන්නයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක් පමණ වනවා. ඒ අනුව Mimas ගේ පරිමාවෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් සාගරයට අයත් වනවා.

උණුසුම් පාෂාණ සමඟ ස්පර්ශ වන ජලය මීමාස් හි අඩංගු බැවින් එහි ජීවයක් පැවතීමේ යම් සම්භාවිතාවයක් ද ඇති බවට ඔවුන් සැක පළ කරනවා.

කෙසේවෙතත් සාගරයේ වයස තවමත් ගණනය කර නොමැති නිසා ඒ පිළිබඳව නිශ්චිත වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.