රට වෙනුවෙන් පොදු එකඟතාවකට එක්වන්න – ජනපති

විවිධ අදහස් පැවතියද, විවිධ ආගම් සහ ජාතීන්ට මෙන්ම විවිධ දේශපාලන පක්ෂවලට අයත් වුවද රටේ අනාගතය වෙනුවෙන් සියලුදෙනා පොදු එකඟතාවකට එක්වීමේ භාරදූර වගකීම ඉටු කිරීමට කාලය එළැඹ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

ඒ අද (07) නව වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සැසිවාරය විවෘත කරමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනුයි.

රට ගොඩනැඟීමට ආණ්ඩුව ආරම්භ කර ඇති වැඩපිළිවෙළ තවදුරටත් වේගවත් කළ හැක්කේ සියලුදෙනා සමගියෙන් ඒ සමඟ එක්වුවහොත් පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පදවි තානාන්තර පිළිබඳ සිහින මවන ඇතැමුන් තනතුරු වෙනුවෙන් රටට අසත්‍ය ප්‍රකාශ කරමින් සිටින බව ද පැවසීය.

එසේම යථාර්ථයට පිටුපා සිහින මාවතේ ගමන් කළහොත් යළි රට මහා අනතුරකට පත්වන බව අවධාරණය කළ ජනාධිපතිවරයා විවිධ පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් රට පිළිබඳ වගකීම පැහැර හැරියහොත් ඉතිහාසය විසින් අප ද්‍රෝහීන් ලෙස නම් කරනු ඇති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියා.

පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් විසින් පිළිගනු ලැබුවා.

වේත්‍රධාරී, නියෝජ්‍ය වේත්‍රධාරී ප්‍රමුඛ කරගත් ජනාධිපතිවරයා, කථානායකවරයා පාර්ලිමේන්තු මහලේකම්වරිය, නියෝජ්‍ය මහලේකම්වරයා ඇතුළු පිරිස පාර්ලිමේන්තු සභා ගර්භය වෙත ප්‍රවිෂ්ට වීම සිදු වූ අතර අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන ලදී.