ඉපැරණි මොනාලිසා සිතුවමට සුප් ප්‍රහාරයක්

සෞඛ්‍ය සම්පන්න සහ තිරසාර ආහාර සඳහා ඇති අයිතිය ඉල්ලමින් පරිසර විරෝධතාකරුවන් පිරිසක් විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයක් අතරතුර දී සුප්‍රකට මොනාලිසා සිතුවමට සුප් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

16 වැනි සියවසේ දී ලෙනාඩෝ ඩා වින්චි නිර්මාණය කරන ලද මෙම සිතුවම මධ්‍යම පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සිතුවම වෙඩි නොවදින ආරක්‍ෂිත විදුරු කුටියක් තුළ ඉතා ආරක්ෂිතව රඳවා තිබීම හේතුවෙන් මෙම සුප් ප්‍රහාරයෙන් සිතුවමට කිසිදු හානියක් සිදු වී නැහැ.

මෙම සුප් ප්‍රහාරය එම විරෝධතාවයට සහභාගී වූ කාන්තාවන් දෙදෙනෙක් විසින් සිදු කර ඇති අතර Riposte Alimentaire නම් කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාර ගෙන තිබෙනවා.

එරට වේලාවෙන් පෙරවරු 10.00 ට පමණ ඔවුන් දෙදෙනා මෙම වට්ටක්කා සුප් ප්‍රහාරය සිතුවමට එල්ල කර ඇති අතර පසුව වහාම කෞතුකාගාර සේවකයන් එක්ව එය පිරිසිදු කර නැවතත් පෙරවරු 11.30 ට පමණ මහජන ප්‍රදර්ශනය සඳහා සිතුවම විවෘත කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රංශයේ සංස්කෘතික අමාත්‍ය රචිඩා ඩැටි පැවසුවේ කිසිදු හේතුවෙන් නිසාවත් මෙලෙස පෞරාණික වටිනාකමක් සහිත වස්තූන්ට සිදු කරන ප්‍රහාර සාධාරණිකරණය සිදු කළ නොහැකි බවයි.

ලෝක ප්‍රකට මොනාලිසා සිතුවම අවස්ථා ගණනාවක දී ම විවිධ ප්‍රහාරයටන්ට ලක්ව තිබෙනවා.