කොළඹ වරායට එන නෞකා ප්‍රමාණය සීග්‍රයෙන් ඉහළට

රතු මුහුද ආශ්‍රිතව ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් කොළඹ වරාය වෙත පැමිණෙන නෞකා සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ ඇති බව වාර්තා වෙනවා.

වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ජනවාරි මාසය තුළ වරායට නෞකා පැමිණීම 35% කින් ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම වරායේ බහාලුම් මෙහෙයුම් ද 72% කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ බව ප්‍රකාශ කළේය.

කෙසේවුවද රතුමුහුදේ අර්බුදය හේතුවෙන් කොළඹ වරායේ ආදායම ඉහළ යාම පිළිබඳ සතුටට පත්විය නොහැකි බවයි විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රකාශ කළේ.