නව VAT සංශෝධන අද සිට

මීට පෙර පාර්ලිමේන්තුවේ දී සම්මත වූ VAT සංශෝධන පනත් කෙටුම්පත අද සිට ක්‍රියාත්මක වනු ලබනවා.

ඒ අනුව අද සිට මෙතෙක් 15% ක්ව පැවති VAT අද සිට 18% දක්වා ඉහළ යනු ලබනවා.

එසේම මෙතෙක් වැට් අය නොකළ භාණ්ඩ හා සේවා 97ක් සඳහා ද මෙම වැට් ඉහළ නැංවීම අදාළ වන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරනවා.

LP ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් ද නව වැට් බද්දට යටත් වන අතර සියලු ජංගම දුරකථන, වෛද්‍ය තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍රසූත්‍ර සහ ගිලන්රථ ආනයනය ඇතුළු කේෂ්ත්‍ර රැසක් සඳහා වැට් බද්ධ පැනවෙනු ඇත.

එමෙන්ම රසායනික පොහොර, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණද , සුර්ය පැනල සහ ගෘහස්ත සුර්යබල පද්ධති ද වැට් බද්දට යටත් බව සඳහන්ය.

මීට අමතරව දේශීයව නිෂ්පාදනය කරන සීනි , ස්වර්ණාභාරණ, මෘදුකාංග, කොප්පරා, රබර්, බිත්තර, තේ, පොල්තෙල් හා දියර කිරිද වැට් බද්ද හරහා ඉහළ නංවනු ලබන භාණ්ඩ ලැයිස්තුවට අයත් වේ.

පාවහන් නිෂ්පාදනයට යොදාගන්නා නිමකරන ලද සම්භාණ්ඩ සඳහාද මෙන්ම චිත්‍ර ශීල්පීන් විසින් නිර්මාණය කරන ලද චිත්‍ර අලෙවි කරන අවස්ථාවේදීත් එය වැට් බද්දට යටත් වෙනු ඇත.

මෙරටට සංචාරකයන් ගෙන්වීමේදී ලබා දෙන සේවා, එම සංචාරක ආයතනවලින් අදාළව ලබාදෙන සේවා සඳහාත් වැට් බදු අය කෙරේ.

චිත්‍රපට බෙදාහැරීම, ප්‍රදර්ශනය සහ නිෂ්පාදනයේදී, රසායනාගාර පහසුකම් සඳහා ද අලුතින් වැට් බද්ද පනවා තිබේ.

එමෙන්ම දේශීය ධාන්‍ය වර්ග යොදාගනිමින් නිෂ්පාදනය කරන අධිපෝෂිත ආහාර සහ දේශීයව නිෂ්පාදිත පොල්තෙල් සඳහාද වැට් බදු අය කෙරෙනු ඇත.

කෙසේ වුවද වැට් බද්ද පනවා නොමැති භාණ්ඩ හා සේවා රැසක් ද රජය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අතර වැට් බද්ද වැඩි වීමත් සමග මිල ඉහළ යන ඇතැම් භාණ්ඩ හා සේවා පිළිබඳ මේ වන විටත් අදාළ පාර්ශව නිවේදන නිකුත් කර තිබෙනවා.