හිංසනයට ලක් වූ ඇෆ්ගන් කාන්තාවන්ට තලෙයිබාන්වරුන්ගෙන් තවත් දඬුවමක්

හිංසනයට ලක් කාන්තාවන්ව ඔවුන්ගේ ආරක්ෂාව සඳහා යැයි පවසමින් ඇෆ්ගනිස්තානයේ පාලන බලය අල්ලා ගෙන සිටින තලෙයිබාන්වරු විසින් සිර ගත කර තබන බව වාර්තා වෙනවා.

එසේම යම් කාන්තාවකට පිරිමි ඥාතින් කිසිවෙක් නොමැති නම් ඔවුන් ද මෙසේ ආරක්ෂාවට යැයි සිරගත කරන බවයි සඳහන් වෙන්නේ.

එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවකින් හෙළි වී ඇත්තේ මෙසේ ඔවුන් සිර කර තැබීමෙන් ඔවුන්ගේ මානසික සහ කායික යහපැවැත්මට අහිතකර බලපෑම් ඇති කරන බවයි.

තලේබාන් පාලනය හේතුවෙන් ඇෆ්ගන් කාන්තාවන් තම නිවෙස්වලට කොටු වී සිටීමෙන් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ වැඩි අවදානමකට ඔවුන් නිරාවරණය වන බවයි එක්සත් ජාතීන්ගේ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

රජය විසින් කාන්තාවන් සඳහා වූ නවාතැන්වලට නිසි පහසුකම් ලබා නොදීම සහ කාන්තා අයිතිවාසිකම් වලට නිසි තැනක් ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙනවා.

2021 දී තලේබාන් සංවිධානය නැවත බලය ලබා ගැනීමට පෙර, ඇෆ්ගනිස්ථානයේ රාජ්‍ය අනුග්‍රහය ලත් කාන්තා ආරක්ෂණ මධ්‍යස්ථාන 23ක් තිබූ නමුත් දැන් ඒවා කිසිවක් නොමැත.