එළැඹෙන වර්ෂයේ සිට පවතින අධ්‍යාපන ක්රමයේ ප්‍රධාන වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.
ඒ අනුව 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය දැනට පවත්නා තත්ත්වයට වඩා සරල කිරීමට ඒ යටතේ අපේක්ෂා කරන බවත්, එහිදී සිසුන්ගේ සාක්ෂර හැකියාව සහ අංකන හැකියාව මැන බැලීමට ප්‍රමුඛතාව ලබාදෙන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරනවා.
2023 වර්ෂයේ පැවැත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඉහළම ලකුණු ලබාගත් සිසුන් සහ 2022 වර්ෂයේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට ඉහළම ලකුණු ලබාගත් සිසුන් ඇගයීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයෙහි පැවති උත්සවයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.
එසේම ඉදිරියේ දී විභාගවලින් ලකුණු සියයට සියයක් ගැනීම මත පමණක් සිසුන් ඇගයීම සිදුනොකරන බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.
සිසුන් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ගන්නා ලකුණු මෙන්ම 4, 5 ශ්‍රේණි දෙක තුළ පන්ති කාමරයේ දී සිදුකරන ඇගයීම්වලින් 30% ක් ලකුණු ලබාගත යුතු බවත්, මේ සඳහා සිසුන්ගේ අඛණ්ඩ පාසල් පැමිණීම පවත්වා ගත යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කරනවා.
මෙහි දී ගුරුවරුන් පක්ෂග්රාහී ව කටයුතු කරනු ඇති බවට ඇතැම් දෙමව්පියන් විවේචන එල්ල කළ හැකි බව ද, එහෙත් එවැනි තත්ත්වයන්ට ඉඩක් නොමැති බව ද, සියල්ලට පෙර දෙමව්පියන් සහ සිසු දරුවන් අතර ගුරුවරුන් කෙරෙහි පැහැදිලි විශ්වාසයක් ගොඩනංවා ගැනීම වැදගත් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය,
හොඳම අධ්‍යාපනයක් ඇති රටක් ලෙස පිළිගැනෙන ෆින්ලන්තයේ පවා 9 වැනි ශ්‍රේණිය තෙක් පාසල්වල යොදාගනු ලබන්නේ පන්තිකාමර මට්ටමින් කෙරෙන ඇගයීම් පමණක් බව ද එරට පාසල් සිසුන් විභාග මඟින් ඇගයීමට ලක්කරනු ලබන්නේ 9 ශ්‍රේණියේ සිට බව ද පැවසීය.

