ගිලන් භික්ෂු මධ්‍යස්තානයක විදුලිය විසන්ධි කිරීම නිසා භික්ෂුන් මහත් අපහසුතාවයට

ගිලන් වූ භික්ෂූන් 68 දෙනකු වැඩ වාසය කරන හංවැල්ල කලුඅග්ගල ගිරා ඉඹුල ප්‍රදේශයේ පිහිටි භික්ෂු මධ්‍යස්ථානයක එක් ලක්ෂ හැත්තෑ ⁣හත්දහසකට ආසන්න විදුලු බිලක් නොගෙවීම් නිසාවෙන් විදුලිය විසන්ධි කර ඇතැයි වාර්තා වෙනවා.

මේ හේතුවෙන් භික්ෂූන් වහන්සේලා දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි එම මධ්‍යස්ථානයේ අනුශාසක මෝදරවානේ අමිල සිරි හිමියන් සඳහන් කරන්නේ.

මාස තුනක විදුලි බිලක් එකතුවීම නිසා මෙලෙස විශාල මුදලක් විදුලි බිල්පතට එකතු වී ඇති බවත් පසුගිය කාලයේ දායකයන්ට තිබූ ආර්ථික දුෂ්කරතා නිසාවෙන් මෙම ස්ථානයට දානමාන සහ මූල්‍යාධාර නොලැබුණු බැවින් මෙම තත්වය උදා වී තිබෙනවා.

ඇස් නොපෙනෙන බිහිරි විවිධ රෝගාබාධයන්ට ගොදුරු වී ඇති සරණක් නොමැති රෝහල්වලින් ගෙනැවිත් බාරදෙන වයෝවෘද්ධ භික්ෂූන් මෙම ස්ථානයේ වැඩ වාසය කරනු ලබනවා.

මේ වන විට දින 14 කට වැඩි කාලයක් තිස්සේ විදුලිය විසන්ධිව පවතින අතර මධ්‍යස්ථානයේ තිබූ සූර්ය ජනන පද්ධතියටද තාක්ෂණික දෝෂයක් සිදු වී තිබීම නිසා මෙම ගැටළුකාරී තත්වය වඩාත් දරුණු වී ඇති බවයි අමිල සිරි හිමියන් පෙන්වා දෙන්නේ.

විදුලි විසන්ධිය සිදුකෙරූ දිනය සිට මේ දක්වා භික්ෂූන් තිදෙනෙකු අපවත් වී අවමංගල්‍ය කටයුතු පවත්වා ඇත්තේ ද කලුවරේ දැඩි අපහසුතා මධ්‍යයේ වනවා.

විදුලිය විසන්ධි කිරීම නිසාවෙන් මෙම ගිලන් භික්ෂු මධ්‍යස්ථානය වෙත අවශ්‍ය ජලය පවා ලබා ගැනීමට නොහැකි තත්වයක් ඇති වීමේ අවධානමක් මතුව තිබෙනවා.

විදුලිය විසන්ධි කිරීමට පැමිණි නිළධාරීන් වෙත කොතෙක් මේ පිළිබදව පැහැදිලි කිරීමක් කලද විදුලිය විසන්ධි කර දමා යන්නට ගිය බවයි උන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ.

(ලංකාදීප)