අපේක්ෂා රෝහලේ විකිරණ තාක්ෂණවේදීන්ගේ වැඩවර්ජනය අත්හිටුවයි

මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ තාක්ෂණවේදීන් විසින් ආරම්භ කර තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල සමඟ පැවති සාකච්ජා සාර්ථක වීමෙන් අනතුරුවයි.

එහිදී කලින් නිකුත් කර තිබූ අමතර සේවා ගෙවීම් සීමා කිරීමට අදාල ලිපිය ඉවත්කොට පෙර ගෙවූ පරිදි ගෙවීම් කිරීමට ලිඛිත උපදෙස් දීමට සහ දීමනා සම්බන්ධ ගැටලු විසදීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට තීරණය වී තිබෙනවා.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අපේක්ෂා රෝහලේ ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තුන්වන දිනටත් අද(08) ක්‍රියාත්මක වුණා.

අමතර සේවා සඳහා සිදු කළ ගෙවීම් නැවත අය කරගැනීමට සහ ඉදිරි ගෙවීම් කප්පාදු කරමින් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කර ඇති ලිපිය ඉවත් කරගන්නා ලෙස බල කරමිනුයි පෙරේදා(06) ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවේ.