සනත් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ධුරයට

සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡා තවමත් පැවැත්වෙන අතර අවසන් ඒකඟතාවකට තවමත් එළැඹ නොමැත.

මේ වන විට ක්‍රිකට් පිලේ පුහුණු උපදේශකවරයෙකු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරන අතර ඊට අමතරවයි සනත් ජයසූරිය උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට නියමිතව ඇත්තේ.

මහේලට ක්‍රිකට් සංවර්ධන අංශයට අදාල වගකීම් පැවරී ඇති අතර ජයසූරියට නව විෂය පථයක වගකීමක් පැවරෙනු ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුතු නව තේරීම් කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා තීරණය කළ අතර ඊට සමගාමීව තවත් වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිතව තිබෙන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.