ජනපති නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම ඉදිරිපත් කරයි

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ අභියෝගයට මුහුණ දීම සහ නිවර්තන කලාපීය ජාතීන් සඳහා තිරසර සංවර්ධනයක් සහතික කිරීම අරමුණු කරගත් වැඩපිළිවෙළක් වන “නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් COP28 සමුළුව වෙත ඉදිරිපත් කර තිබෙනවා.

දේශගුණික අරමුදල්වල ආකෘතිමය වෙනසක් සහ ඵලදායී ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා බහුපාර්ශ්වික ප්‍රවේශයක අවශ්‍යතාව මෙහි දී ජනාධිපතිවරයා විසින් අවධාරණය කරනු ලැබුවා.

වසර 2030 වන විට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීමේ ඉලක්කය ඉටුකර ගැනීමේ අවිනිශ්චිතතා පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපති ‍රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශනය ආරම්භ කළා.

මෙම තීරණාත්මක ඉලක්කය සපුරා ගැනීම සඳහා ඇති 50%ක අවස්ථාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා අනෙකුත් රටවලින් මූල්‍යධාර ලැබීම අපේක්ෂා කළ නොහැකි බවද කියා සිටියේය.

එබැවින් මෙම අරමුදල් සපයා ගැනීමට නිවර්තන සහ නිවර්තන නොවන රටවල් මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම වනාන්තර, වගුරු බිම් සහ කඩොලාන වැනි අත්‍යවශ්‍ය ස්වභාවික සම්පත් කේන්ද්‍ර කර ගත් ආයෝජන ආකර්ෂණය කර ගැනීම ඉලක්ක කර ඇති බවත්, ගෝලීය උණුසුම ඉහළ යාමට එරෙහිව සටන් කිරීමට මෙම ආයෝජන අත්‍යාවශ්‍ය බවත් ජනාධිපතිවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළා.

PMD News

PMD News

PMD News