වැට් වැඩි වීම විදුලි බිලට බලපාන්නේ නැහැ – මුදල් ඇමැති

ජනවාරි මාසයේ දී වැට් ඉහළ නැංවීමට කටයුතු කළ ද , එය විදුලි බිල ඇතුළු අංශ කිහිපයකට බල නොපාන බව මුදල් රාජ්‍ය අමාත්‍ය හා වැවිලි ව්‍යවසාය ආමත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ ලෝක බැංකු එකඟතාවලට අනුකූලව රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමේ අරමුණෙන් වැට් බදු සංශෝධනය කළද එය තාවකාලික ක්‍රියාමාර්ගයක් පමණක් බවයි.

බදු ජාලය පුළුල් විධිමත් කිරීමෙන් අනතුරුව ජනතාවට ඉන් සහනයක් ලබාදීමට හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

එසේම හෙතෙම පවසන්නේ අයවැය යෝජනාවලියේ සඳහන් කළ පරිදි ණය සීමාව ඉහළ නැංවීම මගින් රජය ලබාගන්නා ණය ප්‍රමාණය ඉහළ නැංවීමක් සිදු නොවන බවයි.

ලංකා බැංකුව සහ මහජන බැංකුව යන රාජ්‍ය බැංකු දෙකෙහි ප්‍රාග්ධන ප්‍රමාණය ශක්තිමත් කිරීමත් ස්‍වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අවශ්‍ය නීතිමය අවශ්‍යතාවයක් සපුරා ගැනීමත් පමණක් එමගින් සිදුවනු ඇත.