Twitter හෙවත් X ට තරඟකාරී යෙදවුමක් ලෙස Meta ආයතනය විසින් හඳුන්වා දුන් Threads යෙදවුමට විවිධ වෙනස්කම් කිහිපයක් මෙන්ම නවතම විශේෂාංග කිහිපයක් ද එකතු වී තිබෙනවා.
එහි එක් වැදගත්ම වෙනස්කමක් ලෙස දැන් පරිශීලකයන්ට ඔවුන්ගේ Instagram ගිණුම delete කිරීමකින් තොරව අවශ්‍ය නම් Threads ගිණුම delete කිරීමේ පහසුකම සලසා දී තිබෙනවා.
මින් පෙර පරිශීලකයන්ට සිය Instagram ගිණුම delete කිරීමකින් තොරව එයට link වන ලෙස සකසා තිබුණු Threads ගිණුම delete කිරීමට හැකි වූයේ නැහැ.
ඒ අනුව Threads හි Settings > Account > Delete or Deactivate Profile > Delete යන්න හරහා සිය ගිණුම ඉවත් කර ගැනීමේ හැකියාවක් පවතිනවා.
මෙහි දී පරිශීලකයන් විසින් deactivate යන්න තෝරා ගත් විට ඔවුන්ගේ ගිණුම අනෙක් අයට නොපෙනෙන අතර දින 30කින් පසුව ගිණුම සම්පූර්ණයෙන්ම erase වන බවයි Instagram හි ප්‍රධානි Adam Mosseri සඳහන් කර ඇත්තේ.
එසේම Mark Zuckerberg පවසා ඇත්තේ Threads හි hashtag භාවිතා කිරීමේ දී ඒවා # යන සලකුණ නොමැතිව යෙදිය හැකි බවයි.
දැනට එය ඕස්ට්‍රේලියානු පරිශීලකයන්ට පමණක් ලබා දී ඇති අතර ඔහු සඳහන් කර ඇත්තේ එයට ලැබෙන ප්‍රතිචාර අනුව අනෙක් රටවල පරිශීලකයන් සඳහාත් මෙම පහසුකම ලබා දීමට කටයුතු කරන බවයි.
Threads ට එකතු වුණු තවත් විශේෂාංගයක් ලෙස Threads mobile web browser version හඳුන්වා දිය හැකි වනවා.
මේ හරහා Threads යෙදවුම ජංගම දුරකථනයට download කිරීමකින් තොරව සිය දුරකථන භාවිතයෙන් Threads ගිණුමට පිවිසීමට සහ එහි කටයුතු වඩාත් පහසුවෙන් සිදු කිරීමට හැකි වී තිබෙනවා.

