දිනකට ඉන්ධන ට්‍රක් දෙකකට ඇතුළුවීමට ඊශ්‍රායලය අවසර දෙයි

එක්සත් ජාතීන්ගේ ආධාර වැඩසටහන යටතේ දිනකට ඉන්ධන ට්‍රක් දෙකකට ඇතුළු වීමට අවසර ලබා දීමට ඊශ්‍රායල යුධ කැබිනෙට්ටුව තීරණය කර තිබෙනවා.

ඊශ්‍රායල නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ ගාසා තීරයට ලබා දෙන මෙම ඉන්ධන හමාස් අතට පත්වීම වැලක්වීමට සිය හමුදා හැකි උපරිමයෙන් වග බලා ගන්නා බවයි.

ගාසා තීරයට සැපයෙන මෙම ආධාර කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, මිලියන 2.2ක ජනතාවක් ආහාර සහ ජලය නොමැතිව අවදානම් මට්ටමට පත් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර ගාසා තීරයේ අල්-ෂිෆා රෝහල ආසන්නයේ සෝදිසි කිරීමකදී හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට තබාගෙන සිටි දෙවන කාන්තාවගේ සිරුර සොයා ගත් බව ඊශ්‍රායලය නිවේදනය කර තිබෙනවා.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධය ආරම්භ වුණු පසුගිය ඔක්තෝම්බර් 07වන දා සිට මේ දක්වා කාලය අතරතුර දී මිය ගිය පලස්තීන වැසියන් සංඛ්‍යාව 12,000 ඉක්මවා තිබෙනවා.

ඉන් 5,000ක් පමණ ළමයින් බවයි ගාසා තීරයේ සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

එසේම ගාසා තීරයේ ළමුන් 1,800 ක් ඇතුළුව පුද්ගලයින් 3,570 කට වැඩි පිරිසක් අතුරුදහන්ව සිටිනවා.