2024 දී ශ්‍රී ලංකා ක්‍රීඩා විශ්වවිද්‍යාලයක්

2024 වසරේ දී නව ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් විවෘත කිරීමට රජය සැලසුම් කර ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසනවා.

‘ස්ථාවර රටකට සාමූහික මාවතක්’ යන තේමාව යටතේ ඊයේ ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මෙම ක්‍රීඩා විශ්වවිද්‍යාලය සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් වැය වනු ඇතැයි අපේක්ෂා කරන අතර 2024 පළමු කාර්තුවේදී විශ්වවිද්‍යාල කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

තවද ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ක්‍රීඩා සම්මේලන 72 හි ක්‍රියාකාරීත්වය විධිමත් කරමින් ඔවුන්ගේ වගකීම්, යුතුකම් සහ ප්‍රතිපත්ති තහවුරු කිරීම, ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ කාර්යක්ෂමතාව සහ එකමුතුකම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මෙම යෝජිත වැඩසටහන් සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 125ක් වෙන් කර ඇති බව ද හෙතෙම මෙහි දී අනාවරණය කරනු ලැබුවා.