රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය සාර්ථකව ක්‍රියාත්මක වෙයි

රජයේ රෝහල්වල කාර්යක්ෂමතාවය ඉහළ නංවමින් රෝගීන්ට ප්‍රශස්ත සේවාවක් ලබා දීම වෙනුවෙන් හඳුන්වා දුන් රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය දැන් රෝහල් අසූවක පමණ සාර්ථක ලෙස ක්‍රියාත්මක වනවා.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සඳහන් කරන්නේ මේ වන විට එහි රෝගීන් මිලියන නමය හමාරකට අධික පිරිසක් ලියාපදිංචි වී සිටින අතර රෝගීන්ගේ ඉලෙක්ට්‍රොනික වෛද්‍ය වාර්තා මිලියන ‍විසි තුනක් පවත්වාගෙන යනු ලබන බව යි.

රෝගීන් ලියාපදිංචි කිරීම, පරීක්ෂා කිරීම, ඖෂධ ඇනවුම් කිරීම, රසායනාගාර පරීක්ෂණ, විකිරණ පරීක්ෂණ ආදී සේවාවන් රැසක් මෙම පද්ධතිය හරහා ලබා ගත හැකි වනවා.

රෝහල වෙත රෝගියෙකු පැමිණීමෙන් පසු මෙම පද්ධතිය ඔස්සේ රෝගියා ලියාපදිංචි කෙරෙන අතර ඔහුට ම අනන්‍ය අංකයක් සහ කේතයක් (Barcode) හිමි වනවා.

රෝග විස්තර, ලබා ගත් ප්‍රතිකාර, අදාළ සෞඛ්‍ය වාර්තා, නියම කරන ලද ඖෂධ ඇතුළු සියලු විස්තර ඊට අයත් වන අතර නැවත වරක් එම පුද්ගලයා රෝහල වෙත පැමිණි විට පහසුවෙන් ප්‍රතිකාර ලබා දීමට මේ හරහා අවස්තාව ලබා දී තිබෙනවා.