ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
ඒ ඔස්ට්‍රේලියාවේදී ඔහුට එල්ල වී ඇති අපරාධ චෝදනා පිළිබඳව විමර්ශනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කරන ලද ස්වාධීන පරීක්ෂණ කමිටුවේ නිර්දේශ වලට අනුවයි.
2022 නොවැම්බරයේදී T20 ලෝක කුසලානය සඳහා වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදී සිටියදී ලිංගික අතවරවලට සම්බන්ධ චෝදනා සම්බන්ධයෙන් ධනුෂ්කව අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුට එරෙහිව ක්‍රිකට් තහනමක් පනවනු ලැබුවා.
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් දිස්ත්‍රික් අධිකරණයේ පූර්ණ නඩු විභාගයකින් පසුව ධනුෂ්ක ඔහුට එරෙහිව ගොනු කර තිබූ සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් වූ අතර ඔහු පසුගිය ඔක්තොම්බර් 3 වන දා යළි ශ්‍රී ලංකාවට පැමිණියා.

