ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුද්ධය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුයි – සජිත්

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද තත්ත්වය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගනිමින් දෙරටේ ජනතාවගේ ජීවිතවල ආරක්ෂාව තහවුරු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා.

ගැටලුවක් විසඳීමට ඇති එකම විසඳුම ප්‍රචණ්ඩත්වය හෝ යුද්ධය නොවන බව අවධාරණය කළ විපක්ෂනායකවරයා තාවකාලික සාමයට වඩා ස්ථිර සාමයක් විශ්වාස කරන බවයි පවසන්නේ.

එවැනි ස්ථීර සාමයක් සඳහා දෙරටේ නායකයන් අතර එකඟතාවක් ඇති කර ගත යුතු බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

ඊයේ පලස්තීන තානාපති Zuhair Hamdallah Zaid මහතා සමඟ කළ සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස අදහස් දක්වා තිබෙනවා.

එහි දී දෙරටේම ළමුන්, කාන්තාවන් ඇතුළු අහිංසක සිවිල් වැසියන් මිය ගොස්, තුවාල ලබා හෝ වධහිංසා පමුණුවා ඇති බවත්, යුද තත්ත්වය හමුවේ අහිංසක සිවිල් වැසියන් මිය යන බවත් පෙන්වා දුන් ඔහු, මෙම ගැටුම් අවසන් කරන ලෙස දෙපාර්ශ්වයෙන්ම ඉල්ලීමක් ද කර තිබෙනවා.