ප්‍රදේශ රැසකට ගංවතුර අවදානම් තත්ත්වයක්

පතිත වන අධික වර්ෂාවත් සමඟ නිල්වලා, ගිං සහ කළු ගඟ ආශ්‍රිතව ගංවතුර අවදානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව ඉදිරි පැය 24 තුළ කොටපොල, පිටබැද්දර, පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත්බිම්වල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එහි දැක්වෙන්නේ.

මේ වනවිටත් නිල්වලා ගග පිටාර ගැලීම හේතුවෙන් පානදුගම ප්‍රදේශයෙන් සියඹලාගොඩ – අකුරැස්ස මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වන අතර ඊට අමතරව, කොටපොල, මොරවක වැනි ප්‍රදේශවල පහත්බිම් රැසක් ද ජලයෙන් යට වී පවතිනවා.

එසේම ගිං ගඟ ආශ්‍රිතව ඉදිරි පැය තුනේ සිට ඉදිරි පැය 24 දක්වා ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් වැලිවැටිය – දිවිතුර, බද්දේගම, නියාගම, නෙලුව, තවලම, අක්මීමන, නාගොඩ, ඇල්පිටිය සහ බෝපේ පෝද්දල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත්බිම්වල ජනතාවට අවදානයෙන් පසුවන ලෙස දැනුම් දෙනවා.

ගංගා ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් කැළණි ගඟ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ද මේ වනවිට ඉහළ ගොස් පවතින බවයි වාර්තා වෙන්නේ.