LPL තරඟ පාවා දීම හේතුවෙන් සචිත්‍ර සේනානායක රිමාන්ඩ්

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මේ මස 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ නියෝග කර තිබෙනවා.

මෙරට පැවති පළමු LPL තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩකයන් දෙදෙනෙකුට දුරකථන ඇමතුම් ලබා දී ඔවුන් තරඟ පාවාදීම සඳහා පොළඹවා ගැනීම ඔහුට එල්ල වී ඇති චෝදනාව වනවා.

එසේම කටහඬ පරීක්ෂණයක් සඳහා සැකකරු ලබන 13 වන දා පෙරවරු 10.00 ට රජයේ රස පරීක්ෂකවරයා වෙත ද යොමු කරන ලෙස නියෝග කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

සචිත්‍ර, එම LPL තරඟාවලිය සඳහා සහභාගී වන එක් ක්‍රීඩකයෙකුට ඩොලර් 50,000 ක මුදලක් ලැබෙන නමුත් ඔහුගේ අභිමතය පරිදි ක්‍රීඩා කරන්නේ නම් එක් ක්‍රීඩකයෙකුට ඩොලර් 60,000 බැගින් අමතර මුදලක් ද ලබා දිය හැකි බව පවසමින් ධම්මික ප්‍රසාද් සහ තරිඳු හසංක රත්නායක යන ක්‍රීඩකයන් දෙදෙනාට යෝජනා කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

එසේම මෙම ක්‍රීඩකයා අන්තර්ජාතික බුකිකරුවන්ගේ දේශීය නියෝජිතයෙකු ලෙස ද කටයුතු කර ඇති බව තොරතුරු හෙළි වී තිබෙනවා.