හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරු 23 න් 17 ක් ම රට ගිහින්

මෙරට සිටින හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන් 23 දෙනාගෙන් 17 දෙනෙක් ම රට හැර ගොස් ඇති බව මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසනවා.

මෙම වෛද්‍යවරුන් රට හැර යාමට හේතු වූ සාධක සොයා ඔවුන් මෙරට තුල රඳවා ගැනීමට වැඩපිළිවෙලක් රජය විසින් සකස් කළ යුතුව තිබුණත් තවමත් මෙම ගැටලුවට විසඳුම් සෙවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර නොමැති බවයි ඔහු චෝදනා කරන්නේ.

රජයේ වෙනත් ක්ෂේත්‍රවල උසස් නිලධාරීන්ට පහසුකම් ඇති නමුත් වෛද්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ට ලැබෙන පහසුකම් සාපේක්ෂව අවම තත්ත්වයක පවතින බව ද දුෂ්කර ප්‍රදේශවල සේවය සඳහා යොදවන වෛද්‍යවරුන්ට නේවාසික පහසුකම් පවා සොයා ගැනීම දැඩි ගැටලුකාරී තත්ත්වයක් බවට පත් ව ඇති බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.