ආසියානු කුසලාන ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයන් දෙදෙනෙක්ට කොවිඩ්

ආසියානු කුසලාන තරඟාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු COVID-19 ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ එම ක්‍රීඩකයන් දෙදෙනාටම ආසියානු කුසලාන තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

පසුගියදා පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේදී ඇති වූ ආබාධය හේතුවෙන් දුෂ්මන්ත චමීර ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වීම සැක සහිත බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.

එසේම ආබාධ තත්ත්වයක් හේතුවෙන් වනිඳු හසරංගට ද ආසියානු කුසලාන තරඟාවලියේ පළමු තරඟ කිහිපය අහිමි වීමට ඉඩ තිබෙන නමුත් තරඟාවලියේ අවසන් අදියරයේ දී හෝ ඔහු ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු සිටින බවයි වාර්තා වෙන්නේ.

2023 ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය අගෝස්තු 31 වන දා බංගලාදේශය සමඟ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත යි.