කංසා වගා කිරීමට සහ ළඟ තබා ගැනීමට ජර්මානු රජයේ අනුමැතිය

කංසා වගාව, භාවිතය සහ ළඟ තබා ගැනීම නීතිගත කරමින් ජර්මනියේ කැබිනට් මණ්ඩලය විසින් පනතක් සම්මත කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව වැඩිහිටියන් සඳහා කංසා ග්‍රෑම් 25ක් දක්වා ළඟ තබා ගත හැකි වන අතර, උපරිම වශයෙන් පැළ 3 ක් වගා කිරීමට මේ හරහා ජර්මානු වැසියන්ට අවස්ථාව ලැබෙනු ඇත.

නීති විරෝධී කංසා වලින් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට මෙන්ම කංසා කළු කඩ මාෆියාව මැඩලමින් මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ අවම කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි එරට රජය සඳහන් කරන්නේ.

මෙලෙස කංසා වලට ඇති තහනම ඉවත් කිරීමට සමගාමිව කංසා භාවිතයේ අවදානම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ද දියත් කරන බවයි එරට සෞඛ්‍ය අමත්‍යවරයා සඳහන් කළේ.