රජයේ වියදමකින් තොරව වැලිකඩ බන්ධනාගාරය අලුතින් ඉදි කිරීමේ සැලැස්මක්

දැනට බොරැල්ලේ පිහිටා තිබෙන වැලිකඩ බන්ධනාගාරය රජයේ මුදල් වියදමකින් තොරව හොරණ ප්‍රදේශයේ අලුතින් ඉදි කිරීමට සියලු සැලසුම් සකස් කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු ප්‍රකාශ කරන්නේ වැලිකඩ බන්ධනාගාරය පිහිටා තිබෙන අක්කර 40 ක ප්‍රමාණයෙන් යුතු භූමිය එම ප්‍රදේශයේ ඇති වැඩිම වටිනාකමක් ඇති ස්ථානයක් වීම හේතුවෙන් එය වෙනත් වාණිජමය වටිනාකමක් ඇති ස්ථානයක් බවට පත් කිරීමට මෙම තීරණය ගෙන ඇති බවයි.

නව බන්ධනාගාරය ඉදි කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අයත් හොරණ ප්‍රදේශයේ අක්කර 200ක භූමි ප්‍රමාණයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා පවරාගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම එළිමහන් බන්ධනාගාර පද්ධතිය ප්‍රවර්ධනය කිරීමටත් සිවිල් වැරදිකරුවන් සඳහා භූ ටැග් ක්‍රමය හඳුන්වා දීමටත් බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.